නිමල් රාජපක්ෂ
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වන දින යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ගෝලීය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වූවා ය.
එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවිය. දිට්වා සුළි කුණාටුවෙන් පසු යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් විසින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම සහ රට යළි ගොඩ නැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පවසා සිටියා ය. අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකුවේ GRADE වාර්තාවේ සඳහන් තොරතුරු කොමසාරිස්වරයා සමඟ බෙදා ගත් අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ නැවත ගොඩ නැගීම සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව පවසා සිටියා ය.
අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන Alexander De Croo මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය ගංවතුර සහනාධාර සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළා ය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරමින්, මහජන විශ්වාසය, යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂා වැඩපිළිවෙළක් සකස් කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන ජාතියක් ගොඩ නැගීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ඇය තවදුරටත් සඳහන් කළාය.
එමෙන්ම A.P. Moller Holding (MAERSK) හි සභාපති වන Robert M. Uggla මහතා සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡාවකට එක් වූවා ය. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වීම සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු විය.
රට නැවත ගොඩ නැගීම, සංවර්ධනය කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සහ ගෝලීය කොටස්කරුවන් සමඟ ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙල පිළිබඳ මෙම සාකච්ඡාවලින් අවධාරණය කරයි
