Spread the love

නිමල් රාජපක්ෂ

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් වෙනුවෙන් ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු 05  යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස Lanka Metro Transit බස් රථ සේවාව හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බවත්,  මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය කරමින් තිබෙන  අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට බස් රථ පැමිණීමට නියමිත බවත් මෙහිදී සඳහන් කෙරිණි.

කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන වැඩසටහන පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර 03 තුළ ප්‍රධාන නගර 08ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සදහන් කෙරිණි.

මෙම නියමු ව්‍යාපෘතිය මගින්  කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කර, මගී ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ බස් ප්‍රමුඛතා මංතීරු හඳුනා ගැනීම සහ ඒවායේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවය.

මහජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා පවතින විසිරුණු බස් සේවාවන් වෙනුවට ප්‍රවාහන සමාගම් (ක්ලස්ටර් – Clusters) ක්‍රමවේදයක් කරා යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “මිනිසුන්ට අවශ්‍ය වන්නේ තමන්ට හොඳ ප්‍රවාහන සේවාවක් ලැබීමයි; එය ලැබෙන්නේ කුමන ආකාරයකින්ද යන්න ඔවුන්ට වැදගත් නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අපට ඇත්තේ සැලසුම් සහගතව ගොඩනැඟූ නගර නොව, කාලයත් සමඟ ගොඩනැඟුණු නගර  බැවින්, පවතින නාගරික ව්‍යුහය තුළ ප්‍රවාහන කළමනාකරණය ඉතා පරිස්සමින් සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, බස් ක්ලස්ටර් ක්‍රමය ස්ථාපිත කිරීම මෙම ගැටලුවට ඇති හොඳම විසඳුම බව සඳහන් කළේය.

එම ක්‍රමය යටතේ බස් හිමියන් වෙත බස් රථ යෙදවීම සදහා සමාගමක් ඇති කෙරෙන බවත්, එහිදී ලාභය පිළිබද ගැටලුවක් මතු වන්නේ නම් සමාගම සඳහා රජයෙන් සහනයක් ලබා දීමේ හැකියාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී බස් හිමියා සහ සමාගම අතර ගිවිසුමක් මෙන්ම  අදාළ සේවාව අඛණ්ඩව ලබා දීම පිළිබඳ රජය සහ බස් සමාගම අතර ගිවිසුමකට එළැඹීමේ වැදගත්කමත්, අලුතින් බස් ගෙන්වා විශාල පිරිවැයක් දරනවාට වඩා එය පහසු කාර්යයක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (Multi-modal Transport Hubs) සැලසුම් කිරීමේදී දුම්රිය සේවය කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් ඒ වටා ඒකරාශී කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කැලනි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම පිළිබඳව සහ අධිවේගි මාර්ග පද්ධතිය වෙනුවෙන් ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත සේවකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. සේවකයන්ට නිසි ගෞරවයක් ලැබෙන පරිදි සහ ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු වන පරිදි සේවා කොන්දේසි සකස් කළ යුතු බවත්, විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විධිමත් පත්වීම් ලිපියක් ලබා දීම සහ විධිමත් සුබසාධන සේවාවක් සහතික කිරිමේ වැදගත්කමත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ස්ථානීය දඩ ක්‍රමය (On-site Fine System) සහ ලකුණු කැපීමේ ක්‍රමය (Demerit Point System) සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වසර 10ක් තිස්සේ රියදුරු බලපත්‍ර චිප් (Chip) එකක් සහිතව නිකුත් කළද, එවැනි ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු තාක්ෂණික මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බවත්, එය රැවටීමක් පමණක් බවත් අනාවරණය කෙරිණි.දැන් Gov.pay මඟින් එම ක්‍රමවේදය නිවැරදි කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව මාස   6-7ක් ඇතුළත විධිමත්ව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවත් මෙහිදී  සඳහන් කෙරිණි.

ත්‍රීවිල් රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනයට ක්‍රමවේදයක් සකස් කර තිබෙන අතර සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කෙරිණි.

සිසු සැරිය බස් රථ සේවාව ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර සිසුසැරිය වැඩසටහන වෙනුවෙන් 2025 වසරේදී රජයෙන් රුපියල් මිලියන 2200ක් වෙන් කළ බවත්, එයින් රුපියල් මිලියන 500ක් භාවිතයට නොගෙන නැවත හරවා එවා තිබෙන බවත් සඳහන් කෙරිණි. ඒ අනුව සිසු සැරිය වැඩසටහන කාර්යක්ෂම කිරීම සහ සිසුන් වෙත සෘජුවම ප්‍රතිලාභ ලැබෙන අයුරින් පුළුල් කළ හැකි අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,  ජාතික ගමනාගමන කොමිෂන් සභාව,  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.