දේවින්ද පිණිදිය
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ ඊයේ ( 12) සිදුකල විශේෂ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කල බීඩි අසූ හයදහස් අටසියයක (86800) තොගයක්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය පනහකට (1250) අධික තොගයක්, සකසන ලද බීඩි කොළ පාර්සල් එකසිය තිස් දෙකක් (132), ගල් අඟුරු කිලෝග්‍රෑම් එකසිය තුනක (103) පමණ තොගයක් සහ ෂැම්පු පැකට් එක්දහස් පන්සිය අනූහතරක (1594) තොගයක් සමඟ ලොරි රථයක් සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනිමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත දළුව නාවික අණුඛණ්ඩය මඟින්, දළුව ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ලොරි රථයේ අසුරා තිබූ නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙණ; බීඩි, බීඩි කොළ, සකසන ලද බීඩි කොළ, ගල් අඟුරු සහ ෂැම්පු පැකට් තොගය සමඟ එම ලොරි රථය සහ සැකකරුවෙකු (01)මෙලෙස නාවික හමුදා භාරයට ගැනිමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සමඟ නාවික හමුදා භාරයට ගත් බීඩි තොගය, බීඩි කොළ, සකසන ලද බීඩි කොළ, ගල් අඟුරු, ෂැම්පු පැකට් තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
