– නිමල් රාජපක්ෂ
ශ්රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දශකයකට පසු දෙරට අතර පැවැත්වුණු ‘කර්මාන්ත ආයෝජන සංවාදය’ කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (17 දා)අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා සඳහන් කළේ, ජපාන රජය ශ්රී ලංකාවේ ආයෝජන කටයුතු සඳහා මෙතරම් ඉහළ උනන්දුවක් දක්වන්නේ වසර 10කට පසුව බවයි.
මෙම සංවාදය සඳහා ජපානයේ ප්රමුඛ පෙළේ සමාගම් රැසක් සහභාගී වූ අතර, විශේෂයෙන්ම Mitsubishi, Itochu, Mitsui, Dole Asia Company, Ltd, Tokyo Kyodo Holdings Co., Ltd. සහ Nomura Research Institute Ltd. යන සමාගම්වල නියෝජිතයෝ මෙරට ආහාර, තොරතුරු තාක්ෂණ, බලශක්ති, ප්රවාහන, කෘෂිකාර්මික සහ තීරණාත්මක ඛනිජ (Critical Minerals) ක්ෂේත්රවල සිය ආයෝජන පුළුල් කිරීමට කැමැත්ත පළ කළහ.
‘කලාපීය අගය දාමයට’ (Regional Value Chain) ඇතුළත් වීමට ශ්රී ලංකාවට අවශ්ය තාක්ෂණික සහ ආර්ථික සහයෝගය ලබාදීමට ජපානය සූදානම් බව ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්යාංශයේ (METI) ජාත්යන්තර කටයුතු පිළිබඳ උප ඇමති තකෙහිකෝ මට්සුඕ (Takehiko Matsuo) මහතා මෙහිදී ප්රකාශ කළේය.
අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී අවධාරණය කළේ ජපානය වැනි විශ්වාසවන්ත රාජ්යයක් මෙලෙස ශ්රී ලංකාවේ කාර්මික පුනර්ජීවනයට දායක වීම පිළිබඳව රජයේ කෘතඥතාව පළ කරන බවයි. ලබන ජුනි මස පැවැත්වෙන “EXPO 2026” ජාත්යන්තර ප්රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ද අමාත්යවරයා ජපන් ආයෝජකයින්ට සහ ගැනුම්කරුවන්ට මෙහිදී නිල වශයෙන් ආරාධනා කළේය.
මෙම විශේෂ අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්යාංශයේ ජාත්යන්තර කටයුතු පිළිබඳ උප ඇමති තකෙහිකෝ මට්සුඕ මහතා, ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ ජපාන-ශ්රී ලංකා ව්යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති මෙන්ම ඉටෝචු (ITOCHU) සමාගමේ විධායක උප සභාපති ෆුමිහිකෝ කොබයාෂි (Fumihiko Kobayashi) මහතා ඇතුළු රාජ්ය හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.
