නිමල් රාජපක්ෂ
2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙම්න් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී පෙර පාසල් ගුරුවරුන් තමන් මුහුණ දෙන ගැටළු අග්‍රාමාත්‍යතුමියව දැණුවත් කළේය.
පෙර පාසල් පද්ධතියේ පවතින ගැටළු සමස්ත සමාජයේ සහ අධ්‍යාපනයේ තියෙන අර්බුධයෙන් වෙන් කරලා කතා කරන්න බැහැ. 2024 මේ රට භාර ගන්නකොට අපිට ප්‍රධාන අභියෝගය වුණේ රට ණයගැතිභාවයෙන් මුදා ගනිමින් නිවැරදි ආර්ථික නිර්ණායක නිවැරදිව සකස් කිරීමටයි.
ඒ අනුව 2025 දී අපිට අභියෝගාත්මක වසරක් වුණත් අපේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගන්නත්, ඒ මගින් රටේ අයවැය තුලනය කර ගන්නත් හැකි වුණා..
අපිට ණය ගන්න පුළුවන් නමුත් රටේ ආර්ථිකය ණය අරගෙන කඩාවට්ටන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.
පෙර පාසල් අයිති පලාත් සභාවට සහ ප්‍රාදේශිය සභාවට බවත් රේඛිය අමාත්‍යංශයට කළහැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම වන අතර පෙර පාසල් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට ව්‍යුහ කමිටු සහ දිස්ත්‍රීක් සංවරිධන කමිටු හරහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
