කැලුම් ලියනගේ
රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.මෙම තීරණය ගෙන ඇත්තේ පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා ය .
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සතියේ වැඩකරන දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට තීරණය කිීරීමට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.
පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබේ.
කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවේ.
මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව ඒ මහතා පැවසයි.
මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබේ.
එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී ඇත.
ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටලු තත්ත්වයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ඒ මහතා පවසයි.
තවද මේ වන විට රට තුළ මාසෙකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත් ඒ මහතා පවසයි.
එමෙන්ම රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළ පරිදි ප්‍රධාන වශයෙන් කමිටු 4ක් පත් කර ඇත.
රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද , අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති කමිටුවක්ද ,අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධික්ෂණය කිරීම සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්ද ,විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාදන සැලසීම් සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්රධානත්වයෙන්කමිටුවක්ද පත්කර තිබේ
එම කටයුතු සදහා අමාත්‍යාංශ ලේකම්වරු සහ අත්‍යාවශ්‍ය නිලධාරීන් ද පත් කර තිබෙන බවද ප්‍රකාශක කළේය.
