නිමල් රාජපක්ෂ
උගන්ඩාවේ සිට කටාර් එයාර්වේස් ගුවන් සේවයේ QR664 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකගේ ඇදුම් අස්සේ සගවා තිබු රුපියල් මිලියන 12.33 ක් වටිනා කොකේන් තොගයක් ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකාරිය වයස අවුරුදු 47ක් වූ උගන්ඩා ජාතික කාන්තාවකි. ඇය උගන්ඩාවේ සිට දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයේ QR664 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, බුද්ධි තොරතුරු හා අවදානම් විශ්ලේෂණය මත තෝරා ගනිමින් පූර්ණ වශයෙන විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.
එහිදී සැකකාරියගේ ඇඳුම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන තිබූ කොකේන් කැප්සියුල් 21ක් සොයාගෙන ඇති අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 274ක් පමණ වේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 12.33ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත.
තවද, සැකකාරිය විසින් සිය ශරීරය තුල (internal concealment) තවත් මත්ද්‍රව්‍ය කැප්සියුල් ගිලගෙන ඇති බවට ද දැඩි සැකයක් පවතින අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය හා නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන යමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ, නීතිමය ක්‍රියාමාර්ග හා නඩු පැවරීම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය වෙත භාර දී ඇත.
