Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබාගැනීමේ ගිවිසුම් සකස් කිරීමට අදාලව රුපියල් හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් කොටසක් ලබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) වන අහමඩ් රියාසා අහමඩ් නැමැති අයෙක් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බදු පදනම මත ලබාගෙන තිබූ “මෙඩි හවුස්” නමැති ගොඩනැගිල්ලේ බදු කාලය දීර්ඝ කිරීමට අදාලව ගිවිසුම් තුනක් සකස් කිරීම වෙනුවෙන් සැකකරු මෙම මුදල ඉල්ලා ඇති බවයි.

ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු ලෙස පවසමින් ඔහු රුපියල් 4,134,887/- ක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් මීට පෙර ලබාගෙන තිබූ බවට පැමිණිල්ලෙන් කරුණු හෙළිවූ බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඉතිරි මුදල ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව, රුපියල් ලක්ෂ පහක මුදලක් “මෙඩි හවුස් පුද්ගලික සමාගම” නමින් මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් නිකුත් කළ චෙක්පතක් මගින් ලබාගනිමින් සිටියදී ඊයේ (21) පස්වරු 3.45 ට පමණ තම නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දි ඇත.