Spread the love

.දේවින්ද පිණිදිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන සැළසුම් සහගත වැඩපිළිවෙල තුළ රුපියල් මිලියන 600 ක පිරිවැයක් දරමින් මහනුවර ජාතික රෝහල වෙත ලබාදුන් අධි තාක්ෂණික යන්ත්‍ර දෙකක් ජනතා අයිතියට පත් කිරිම ඊයේ (23) මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව Extracorporeal Shock Wave Lithotripsy (ESWL) යන්ත්‍රය සහ Digital Subtraction Angiography යන යන්ත්‍ර දෙක ජනතා අයිතියට පත් කෙරිණි.

රුපියල් මිලියන 200 ක වටිනාකමකින් යුත් Extracorporeal Shock Wave Lithotripsy (ESWL) යන්ත්‍රය මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අශ්ම (ගල්) ශල්‍යකර්මයක් හෝ වෙනත් ආවේශන ප්‍රතිකාර ක්‍රමයක් සිදු නොකොට අති ධ්වනි තරංග භාවිතා කරමින් කුඩා කැබලි වලට කුඩු කර මූත්‍රා සමඟ පිටවීමට සැලැස්වීමේ ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගැනේ.

පෙර පැවැති යන්ත්‍රය අකර්මණ්‍ය වීම හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ ESWL ප්‍රතිකාර ක්‍රමය මෙම නව යන්ත්‍රය මඟින් පෙරට වඩා ගුණාත්මක සහ සුරක්ශිත ලෙස සිදු කිරීමට මෙතැන් සිට මහනුවර ජාතික රෝහල් ‍ජන්‍ය මූත්‍රල ශල්‍ය ඒකකය (NHK Urology Unit) තුළ දී හැකියාව ලැබෙනු ඇත.

තාක්ෂණයෙන් වඩා උසස් මෙම නව යන්ත්‍රය මගින් මූත්‍රා පද්ධතිය තුළ ඇති අශ්ම (ගල්) වෙත නිරවද්‍ය ලෙස අතිධ්වනි තරංග නාභිගත කළ හැකි බැවින් ප්‍රතිකාරය අතරතුර අනෙකුත් පටකවලට සිදුවන හානිය ඉතාමත් අවම වේ. එමගින් ප්‍රතිකාරයට පසුව ඇතිවන සංකූලතා අවම වන අතර ප්‍රතිකාරය සිදු කළ දින ම රෝගියාට රෝහලින් පිටව යාමට ද හැකියාව ඇත.

ජන්‍ය මූත්‍රල දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිස්ථාපනය කිරීම (Urology Day Treatment Centre) මගින් එම ප්‍රතිකාර සේවා සඳහා පැවැති දිගු පොරොත්තු ලේඛණ අවම කරලීමේ හැකියාව ද ලැබෙනු ඇත.

වසර 03 කට අධික කාලයක් අක්‍රීයව පැවැති DSA යන්ත්‍රය වෙනුවට නවින ඩජිටල් තාක්ෂණයෙන් යුත් රුපියල් මිලියන 400 ක් වටිනා නව Digital Subtraction Angiography යන්ත්‍රය රුධිරවාහිනී සහ සනාල රෝග, පිළිකා ප්‍රමුඛ රෝග රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ.