Spread the love

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ආබාධිත තත්ත්වයට පත්වු ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC) සම්බන්ධීකරණයෙන්, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 25 වැනි දින කටයුතු කෙරිණි.

ධීවරයින් හයදෙනෙකු සමඟ, ‘හසිත පුතා නැමති 4’ (IMUL-A-0808 GLE) නමැති බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ධීවර වරායෙන් පිටව ගොස්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් හතලිස් පහක පමණ (45) දුරින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටි ධීවරයෙකුගේ අතක සිදුවූ අස්ථි බිඳීමක් හේතුවෙන් ආබාධයකට ලක්ව ඇත.

ඒ අනුව, එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. 

පසුව, ආබාධිත තත්ත්වයේ පසු වූ ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දෙමින්, ඔහු කඩිනමින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා 2026 අප්‍රේල් මස 25 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.