නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්රයට නව දිශාවක් විවර කරමින් පසුගිය දා මෙරට තුළ නව මෙට්‍රො බස් සේවාවක් ආරම්භ කෙරිණ. ඒ බස් රථ 10 ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් වශයෙනි. මෙම මෙට්‍රො බස් සේවාව සදහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීම වෙනුවෙන් ප්‍රථම බස් ඩිපෝව ඉදිකිරීමේ කටයුතු ආරම්භය අද දින (2026.05.04) සිදු කෙරිණ.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහි වැඩ ඇරඹුම සිදුවූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර මැතිවරණ කොට්ඨාසයේ කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට ආසන්නවය. මෙම ඩිපෝ ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රුපියල් මිලියන 102 ක මූල්‍ය පිරිවැයක් දරණ අතර 2026 ජූලි 30 වන දින විට ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ආමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රජයේ අරමුදල් මේ සදහා යොදා ගැනේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා සමාගමක් ලෙස මෙම ලංකා මෙට්‍රො බස් සේවාව සදහා ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂම සේවා සැපයීමට යොදා ගැනේ. මෙට්‍රො බස් සේවාව සදහා බස් රථ 10 ක් යොදා ගනිමින් දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකව පවතින මෙම බස් රථ සේවාව එළඹෙන අගෝස්තු මස සිට තවත් පුළුල් සේවාවක් බවට පරිවර්තනය කරමින් ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව ප්‍රධාන මාර්ග 06 ක බස් රථ 122 ක් යොදා ගනිමින් සේවා ධාරිතාව වැඩිදියුණු කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම බස් සේවාව සාර්ථකව පවත්වා ගැනීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් ක්‍රම, ඩිපෝ පරිශ්‍ර හා අනෙකුත් ප්‍රවාහන සේවා සමග සම්බන්ධතා සදහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් නිර්මාණය කරමින් පවති. එහි ඉදිරි පියවරක් ලෙස කඩවත මෙට්‍රො ඩිපෝවේ ඉදිකිරීම් ආරම්භ කල අතර ඊට සමගාමීව සේවා සැපයීම සදහා ඒකල, රත්මලාන සහ තලංගම නව ඩිපෝ පරිශ්‍ර ඉදි කරනු ඇත. ඒ අනුව බස්නාහිර පළාත තුළ සේවා සැපයිම සදහා නව මෙට්‍රො ඩිපෝ 04 ක් ස්ථානගත කිරීමට නියමිතය.
මෙට්‍රො ඩිපෝ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිළ වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ,
‘පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කරන්න, ප්‍රමිතිගත සේවාවක් ලබාදෙන්න රජය විදිහට පියවර රැසක් ගෙන තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිසංවිධානය කරමින් එහි සේවාවන් වඩාත් ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කරමින් පවතිනවා. ලංගම භෞතික හා මානව සම්පත් තිරසර ලෙස වැඩිදියුණු කරන්නත්, බදවා ගැනීම සහ උසස්වීම් දේශපාලන බලපෑම්වලින් තොරව විනිවිදභාවයෙන් සිදු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. විනාශයට යමින් පැවති ලංගම, වත්මන් රජය යටතේ නැවත ගොඩනගමින් පවතිනවා . දූෂණ අක්‍රමිකතා අවම කරමින් නව කළමනාකාරීත්වයක් සහ විධිමත් පරිපාලන යාන්ත්‍රණයක් යටතේ මෙහෙයවමින් පවතිනවා . ඒ අනුව ලංගම පරිවර්තනීය වෙනසකට ලක් කර ගත හැකි බවට විශ්වාසය පළ කරනවා.
පොදු ප්‍රවාහනයේ ගුණාත්මක වෙනසක් සිදු කිරීමට නම් ඒ සදහා ව්‍යුහාත්මක වෙනසක් කල යුතු වෙනවා. ඉලක්ක සපුරා ගැනීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මකව පවතිනවා. ලංකා ගමනාගමන මණ්ඩලය තුළ තිබෙන මෙට්ට්‍රෝ ආයතනය පුළුල් කරමින් පොදු ප්‍රවාහනයේ ප්‍රමිතිගත සේවාව ලබාදෙන්න කටයුතු කරමින් යනවා.
