Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද දින (මැයි 08) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු කෙරිණි. දෙරට අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් අත්සන් තැබුණු ප්‍රථම අවබෝධතා ගිවිසුම මෙය වීම සුවිශේෂී වේ.
ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ දැනුම, පර්යේෂණ සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කරමින් දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වේ.
ඒ අනුව, මෙම අවබෝධතා ගිවිසුම යටතේ ජෛව තාක්ෂණය, කෘෂිකර්මය, ඔසු පැළෑටි සහ ආහාර තාක්ෂණය, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමේ තාක්ෂණයන්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ස්වයංක්‍රීයකරණය සහ තොරතුරු තාක්ෂණය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සහයෝගීතාව ක්‍රියාවට නැංවීම සඳහා ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාඥයන් හා තාක්ෂණික විශේෂඥයන් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ සම්මන්ත්‍රණ හා වැඩමුළු සංවිධානය කිරීම සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා සම-අරමුදල් සැපයීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ වියට්නාම රජය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Vu Hai Quan මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි මහතා සහ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සබඳතා) ගීතානි කන්නන්ගර මහත්මිය ඇතුළු දෙරටේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.