Spread the love

නිමල් රාජපක්ෂ

​මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් (Content) සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

ඩිජිටල් කාර්ය සාධක බලකායේ මෙහෙයවීම මත ​ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන් සහ මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සමඟ මැයි 08 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

​ස්මාර්ට් පන්තිකාමර තුළ යූටියුබ් (YouTube) වීඩියෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අදාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. විවිධ පෞද්ගලික වේදිකා ඔස්සේ අන්තර්ගතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලුම අධ්‍යාපනික ද්‍රව්‍ය ‘ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ප්‍රමිතියකින් යුතුව ලබාදීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

​විශේෂයෙන්ම ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගනිමින් ඩිජිටල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. වසරකට පුහුණුව ලබන ගුරු සිසුන් 6,000ක් පමණ තාක්ෂණයට හුරු කිරීම හරහා පාසල් පද්ධතිය තුළ සැබෑ ගුණාත්මක වෙනසක් ඇති කළ හැකි බව ද එහි දී පැවසීය.

​තෝරාගත් පාසල් 100ක් සඳහා සුහුරු පන්තිකාමර (Smart Classrooms) ඉදි කිරීමට කටයුතු කරන බවත්, එහි පළමු අදියර යටතේ පාසල් 50ක් සඳහා පහසුකම් ලබා දෙන අතර, ඉතිරි පාසල් 50 සඳහා ඉදිරියේදී එම පහසුකම් සපයන බවත් මෙහිදී අනාවරණය විය. මීට අමතරව ඩිජිටල් ඉගෙනුම් වේදිකාවන් නොමිලේ රජයට ලබාදීමටත්, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් අධ්‍යාපන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සහාය වීමටත් තමන් සූදානම් බව සාකච්ඡාවට එක්වූ ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

​මෙම ව්‍යාපෘති දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර විධිමත් ගිවිසුම්ගත ක්‍රමවේදයක් පැවතීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් පාසල්වල විදුලි පිරිවැය සහ අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වැනි ප්‍රායෝගික ගැටලු කළමනාකරණය කරමින් මෙම ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කිරීම පිළිබඳව දෙපාර්ශ්වය දීර්ඝව සාකච්ඡා කළහ.

​අධ්‍යාපන පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ඉදිරියේදී අවසන් කරන බවත්, එම සැලැස්ම තුළ හඳුනාගෙන ඇති ප්‍රමුඛතා අනුව සිය දායකත්වය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය රොටරි නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියාය.

​මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ් යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍යාංශවල නිලධාරීන්, ඩිජිටල් කාර්ය සාධක බලකායේ නියෝජිතයන් සහ Creative Software හා Cambio Software Engineering ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.