නිමල් රාජපක්ෂ
සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පැවැත්විණි.
ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කර, සමාජය සවිබලගැන්වීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමාලෝචනය කිරීම මෙන්ම 2027 වසර සඳහා යෝජනා හඳුනා ගැනීමේ රාමුවක් සකස් කිරීම සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ ප්‍රජාව දිළිඳුබවින් මුදා ගැනීම බවත්, ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පැවසීය.
ඒ වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන පමණක් නොව, සියලුම සංවර්ධන හවුල්කරුවන් එක් සංවර්ධන වේදිකාවක සිට කටයුතු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
එසේම, මෙරට දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී, ලෝකයේ දියුණු රටවල් අනුගමනය කර තිබෙන උපායමාර්ගික වැඩසටහන් සහ ක්‍රමවේද අධ්‍යයනය කිරීමත්, පවතින තත්ත්වයන් නිරන්තරයෙන් සමාලෝචනය කරමින් ප්‍රජා ශක්ති වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කරන ලදී.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු, ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
