මාලන් විතාන !
ගංවතුර පාලනයටත් ප්‍රදේශයන් හි ජලබස්නා ක්‍රියාවලිය පහසු කිරීම වෙනුවෙනුත් රජයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස ඇල මාර්ග 31 ක් ප්‍රතිසංස්කරණය කර, නඩත්තු කිරීම ආරම්භ කර ඇති බවත් එම ව්‍යාපෘතිය මේ වසරේ ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට සැළසුම් කර ඇති බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ඔහු මේ අදහස් පලකලේ කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ආසනයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැව් සහ ජල බස්නා ඇල මාර්ග කිහිපයක නඩත්තු කටයුතු සිදුවන ආකාරය සොයාබැලීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂාවකට අද දින (2026.06.03) එක්වෙමිනි.
මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවේදී ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙදමුල්ල වැව සහ ඒ හා බැදුණු ඇල මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද සොයා බැලීය. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, කාක දූපත වැව් දෙකක සහ කැලණි ගගට සම්බන්ධිත ඇල මාර්ග පද්ධතියේත් ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණයට ලක්කල අතර, මීතොටමුල්ල කසල අංගනය වටා ඇති ඇල මාර්ගයේ පවිත්‍රතා කටයුතු සිදුවන ආකාරය ද විමසුමට ලක්කලේය. අනතුරුව කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බාරොන් තිලකානන්ද මාවත ඇල මාර්ගයේ නඩත්තු කටයුතු කඩිනමින් සිදුවන ආකාරය සොය බැලීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා එක්විය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පලාන් පාලන ආයතනවල සහය ඇතිව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ඇල මාර්ග සහ වැව් පද්ධතිවල නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ අමාත්‍යංශය විදියට ඇල මාර්ග නිසි අයුරින් නඩත්තුකරණයට වාර්ෂිකව රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් යොදවන බවයි. පසුගිය රජයන් යටතේ විධිමත් සැලැස්මක් මේ සදහා නොතිබුණු බවත් යන්ත්‍ර සූත්‍ර, උපකරණ, මානව සම්පතේ බරපතල ඌනතාවයන් පැවතුන බව ද වත්මන් රජය විසින් මෙම අඩුපාඩු සියල්ල සම්පූර්ණ කර තිරසර ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයක් තුලින් මෙම ක්ෂේත්රයේ සංවර්ධනයට අවශ්‍ය සැලසුම් සකස් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
