නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය ප්‍රධානතම දායකත්වය ලබාදෙන ක්ෂේත්රය බවත්, 2025 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 17.25ක අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 4.9ක්ම ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබී ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) යටතේ ක්‍රියාත්මක වන SLITA Campus විසින් සංවිධානය කළ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී අද (4 දා) පැවැති ඩිප්ලෝමා සහ උසස් ජාතික ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය අමතමිනි.
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්රයේ ප්‍රගතිය උදෙසා වෘත්තිකයන් බිහිකරන ප්‍රමුඛතම රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA), සිය අධ්‍යයන හා වෘත්තීය සුදුසුකම් සාර්ථකව සම්පූර්ණ කළ ඩිප්ලෝමාධාරීන් 596 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහ උසස් ජාතික ඩිප්ලෝමා සහතික පිරිනමන ලදී.
2009 අංක 12 දරන පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය, ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තයක් වන ඇඟලුම් ක්ෂේත්රය සඳහා අවශ්‍ය දක්ෂ උපාධිධාරීන් සහ තාක්ෂණික වෘත්තිකයන් පුහුණු කරන විශිෂ්ටතම මධ්‍යස්ථානයකි. අධ්‍යාපනය, නවෝත්පාදනය, පර්යේෂණ සහ විශිෂ්ටත්වය ඔස්සේ මෙරට ඇඟළුම් කර්මාන්තයේ අනාගතය සවිබල ගැන්වීම මෙම ආයතනයේ ප්‍රධාන අරමුණයි. දේශීය හා ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව කෙටි පාඨමාලා, සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා රැසක් ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් පවත්වනු ලැබේ.
නවීන විද්‍යාගාර පහසුකම්, පළපුරුදු ආචාර්ය මණ්ඩලය, ශක්තිමත් කර්මාන්ත සහයෝගීතාව සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා හරහා, සීඝ්රයෙන් වෙනස් වන ඇඟළුම් ක්ෂේත්රයට අවශ්‍ය තාක්ෂණික හා වෘත්තීය නිපුණතාවයෙන් සිසුන් සන්නද්ධ කිරීමට මෙම ආයතනය කටයුතු කරයි.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ඇඟලුම් ක්ෂේත්රයේ අධ්‍යාපනික ආයතනයක් ලෙස ජාත්‍යන්තර මට්ටමකට පත්වෙමින් ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්රයට විශාල මෙහෙවරක් ඉටුකරමින් එම ක්ෂේත්රයට අවශ්‍ය නිපුණ මානව සම්පත බිහි කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකරන බව තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දක්වමින්,
මෙලෙස ඩිප්ලෝමා සහ උසස් ජාතික ඩිප්ලෝමා සහතික ලබන සිසුන් මෙම ක්ෂේත්රයට එක්වන නිපුණ මානව සම්පතක් බව සඳහන් කළ ඇය, 2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවනු ඇතැයි විශ්වාසය පළ කළාය.
එසේම රටේ ආර්ථික සංවර්ධනය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනය අත්‍යවශ්‍ය වන බවත්, 2025 වසරේ දළ ජාතික නිෂ්පාදනයට කර්මාන්ත ක්ෂේත්රයේ දායකත්වය සියයට 26.7 ක් වූ අතර, 2030 වන විට එය සියයට 30 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාව බව ප්‍රකාශ කළාය. එමෙන්ම දැනට සියයට 16.2ක් පමණ වන නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය 2030 වන විට සියයට 20 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඇති බව පැවසූ ජයසුන්දර මහත්මිය සංවර්ධිත රටවල ආර්ථික ව්‍යුහය තුළ නිෂ්පාදන අංශය ප්රමුඛ ස්ථානයක් ගන්නා බවත්, ශ්‍රී ලංකාවද එම දිශාවට ගමන් කළ යුතු බවත් අවධාරණය කළාය.
ශ්‍රම බලකාය තුළ ව්‍යවසායකයන්ගේ දායකත්වය මේ වනවිට සියයට 3.2ක් වැනි පහළ මට්ටමක පවතින බව සඳහන් කළ ලේකම්වරිය, 2030 වන විට එය සියයට 10 දක්වා ඉහළ නැංවීම කර්මාන්ත අමාත්‍යාංශයේ ඉලක්කයක් බව කියා සිටියාය. ඒ අනුව සෑම පුද්ගලයන් 100 දෙනෙකුගෙන්ම 10 දෙනෙකු ව්‍යවසායකයන් බවට පත් කිරීමේ අවශ්‍යතාව පවතින බවත්, SLITA Campus වෙතින් නිපුණ වෘත්තිකයන් මෙන්ම ව්‍යවසායකයන් ද බිහි කිරීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.
ගෝලීය වශයෙන් පිළිගත් නිපුණතා වලින් පිරිපුන් මානව සම්පතක් බිහි කිරීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ තවත් ප්‍රධාන අරමුණක් බව පෙන්වා දුන් තිලකා ජයසුන්දර මහත්මිය, 2027 වන විට විදේශීය සිසුන් පවා SLITA Campus වෙත ආකර්ෂණය කර ගනිමින් එහි උපාධි පාඨමාලා හැදෑරීමට යොමු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළාය.
රටේ ශ්‍රම ඵලදායිතාව සහ කෘෂිකාර්මික ඵලදායිතාව තවමත් පහළ මට්ටමක පවතින බවත්, 2025 වසරේ සමස්ත සාධක ඵලදායිතාව (Total Factor Productivity) සෘණ සියයට 3.2ක මට්ටමක පැවති බවත් එය 2030 වසර වන විට ධන සියයට 1.5ක මට්ටමකට ඉහළ නැංවීම රජයේ ඉලක්කයක් බවද පැවසුවාය.
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ලේකම්වරිය, ව්‍යාපාර කිරීමේ පහසුකම් දර්ශකයේ ශ්‍රී ලංකාව 2023 වසරේ 101 වැනි ස්ථානයේ සිට 2025 වන විට 99 වැනි ස්ථානය දක්වාත්, ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානයේ සිට 79 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇති බව කියා සිටියාය. කෙසේ වෙතත්, එම දර්ශකවල තවදුරටත් පහළ මට්ටම්වල පවතින ප්‍රධාන හේතුවක් ලෙස ජාතික ශ්‍රම බලකාය තුළ පවතින ආකල්පමය ගැටලු හඳුනාගෙන ඇති බවත්, එම තත්ත්වය වෙනස් කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරී ඇති බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් එදිරිසිංහ, SLITA Campus පීඨාධිපති උපශාන්ත රත්නායක, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්යක්ෂ ජනරාල් තරංග නලීන් ගම්ලත්, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
