Spread the love

නිමල් රාජපක්ෂ-

ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ කොටස්කරුවෙක් කිරීම සේවා හා ආධාරක මධ්‍යස්ථානවල ඉලක්කය බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහනේ තුන්වන මධ්‍යස්ථානය ලෙස Technology Business Incubation Center (TBIC) විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෙක් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ද සමග එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. මඩකලපුව පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී එම මධ්‍යස්ථානය ඊයේ දින (04) විවෘත කෙරිණි.


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලය සහයෝගිතාවයෙන් නවීන පර්යේෂණ උපකරණ සහිතව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාලයීය පර්යේෂණ මෙන්ම නවෝත්පාදන සහ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් අතර සම්බන්ධතාව ගොඩනගමින් ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ කලාපීය ව්‍යවසායකත්වය නංවාලීම මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අරමුණයි.


නැගෙනහිර පළාත තුල ප්‍රමුඛව පවතින කෘෂිකාර්මික, පශුසම්පත් සහ සාගර සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් නවීන විද්‍යා හා තාක්ෂණ දැනුම ඔස්සේ අගය එකතු කළ නිෂ්පාදන බිහි කිරීම සහ ඒවා වානීජකරණයට අවස්ථාව සලසමින් ව්‍යවාසයකත්වය ශක්තිමත් කිරිමට මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

විශ්ව විද්‍යාල ප්‍රජාවට සහ එය හරහා කලාපිය ව්‍යවසායකයින් වෙත නවීන රසායනාගාර පහසුකම් සහිත තාක්ෂණික උපදෙස් සහ ව්‍යාපාරික මාර්ගෝපදේශ ලබාදීම තුලින් විශ්ව විද්‍යාලයීය පර්යේෂණ සංකල්ප ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රයෝගිකව යොදාගැනීමට අපේක්ෂිතය.


මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“උපාධි අපේක්ෂකයන්, පශ්චාත් උපාධි පර්යේෂකයන් ඇතුළු විශ්ව විද්‍යාල ප්‍රජාවට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ව්‍යවසායක සංකල්පයේ සිට නව නිෂ්පාදනක් සඳහා වූ ගමනට අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් ලබා දීම මෙම මධ්‍යස්ථාන ඇති කිරීමේ ඉලක්කය වෙනවා.

නව නිෂ්පාදනයෙන් අනතුරුව ඒ් සඳහා අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සපයා ගැනීමට මග පෙන්වමින් එය වාණිජකරණය දක්වා අවශ්‍ය සහය ලබා දීමට අපි සූදානම්. ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන්ට පරීක්ෂණාගාර පහසුකම් ලබා ගැනීමට දැන් කොළඹට යන්න අවශ්‍ය නැහැ. ඒ් සඳහා නවීන පර්යේෂණ පහසුකම් ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට ග්‍රාමීය නිෂ්පාදන දායක කරගැනීම තමයි අපේ බලාපොරොත්තුව.මෙවැනි ප්‍රයත්නයන්ද සමගින් විශ්ව විද්‍යාල ඇතුළුව අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක ප්‍රතිශතයක් වෙන් කිරීමට ඉදිරියේ දී ක්‍රමානුකූලව කටයුතු කරනවා”