නිමල් රාජපක්ෂ-
ලෝක රේගු සංවිධානයේ දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙයවන ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම සංවිධානයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උප කමිටුවේ තිදෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් පසුගිය (02) දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය.
ශ්‍රී ලංකා රේගුව සමඟ දූත මණ්ඩල සංචාරයක නිරත මෙම නියෝජිත පිරිස, රාජ්‍ය අංශය තුළ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී ප්රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම් සමඟ සාකච්ඡා කළහ.
නියෝජිත පිරිස අමතමින් ආචාර්ය කුමානායක මහතා, දූෂණය පිටු දැකීම සඳහා රජය විසින් ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූලව, සදාචාරාත්මක, වගවීමකින් යුත් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය අවධාරණය කළේය.
මේ වෙනුවෙන් කැපවූ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති බවත්, එමඟින් අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපනය කිරීම, නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ එම ඒකකවල මෙහෙයුම් විධිමත් කිරීම සහ පහසුකරලීම සඳහා මාර්ගගත පද්ධතියක් හඳුන්වා දීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
ආයතන තුළ සහ රාජ්‍ය නිලධාරීන් අතර දූෂණයෙන් තොර සංස්කෘතියක් ආයතන ගත කිරීම සඳහා රාජ්‍ය අංශය පුරා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවන මුලපිරීම් පිළිබඳ පුළුල් හැදින්වීමක් ලෝක රේගු සංවිධානයේ නියෝජිතයින් වෙත ලබා දෙන ලදී.
මේ වන විට, සියලු රේඛීය අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රධාන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක 360ක් ස්ථාපිත කර ඇත. මෙම වසර තුළ ඉතිරි රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකක හඳුන්වා දීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙයට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඇතුළත් වේ.
ජනාධිපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන පුහුණු වැඩසටහන් හරහා, අභ්‍යන්තර කටයුතු ඒකක සඳහා පත් කරන ලද නිලධාරීන්ට දූෂණ විරෝධී නීති සහ ක්‍රියා පටිපාටි, දූෂණ අවදානම් තක්සේරු කිරීම් සහ අවදානම් කළමනාකරණ සැලසුම් සකස් කිරීම සහ අනෙකුත් සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ පියවරයන් පිළිබඳ පුහුණුව ලබා දෙනු ලැබේ.
දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ රාජ්‍ය අංශයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මාර්ගගත වේදිකාවක් ද සංවර්ධනය කර ඇති අතර, මෙම වේදිකාව මගින් අභ්‍යන්තර කටයුතු ඒකකවල පැමිණිලි කළමනාකරණය, ක්‍රියාකාරී සැලසුම් වාර්තා කිරීම සහ අධීක්ෂණය, රැස්වීම් සම්බන්ධීකරණය, පුහුණු කළමනාකරණය සහ දත්ත විශ්ලේෂණය ඇතුළු විවිධ මෙහෙයුම් පරාසයක් ස්වාධීනව කළමනාකරණය කිරීමට හැකියාව ලබා දෙයි. රට පුරා පිහිටි අභ්‍යන්තර කටයුතු ඒකක වල දත්ත මධ්‍යගතව සම්බන්ධීකරණය කිරීමෙන්, රාජ්‍ය අංශයේ දූෂණ ප්රවණතා සහ දූෂණ විරෝධී ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳ අවබෝධයක් ජනනය කිරීමට මෙම වේදිකාව පහසුකම් සපයයි.
අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් ගෙන ඇති මුලපිරීම් ලෝක රේගු සංවිධාන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී හැම්ප්ටන් මහත්මියගේ පැසසුමට ලක් විය. අභ්‍යන්තර කටයුතු ඒකක මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය මගින් ශ්‍රී ලංකා රේගුවට එහි අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයන් සහ දූෂණ විරෝධී හැකියාවන් ශක්තිමත් කිරීමට වටිනා අවස්ථාවක් ලබා දෙන බව ඇය සඳහන් කළාය.
මාර්ගගත පද්ධතිය මගින් ජනනය කරන දත්ත, රේගු පරිපාලනය තුළ දූෂණ අවදානම් සහ සුපිළිපන්භාවයට ඇති අවදානම් හඳුනා ගැනීමට සහ අවම කිරීමට සහාය වන ආකාරය සහ එමඟින් වඩාත් ඵලදායී රේගු මෙහෙයුම් සඳහා දායක වන ආකාරය ද ඇය ඉස්මතු කළාය.
රාජ්‍ය ආයතනවල විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් කාර්යක්ෂම භාවිතයන් පිළිබඳ අදහස් හුවමාරුවක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය.
හැම්ප්ටන් මහත්මිය සමඟ ලෝක රේගු සංවිධානයේ පැස්කල් තෝමස් මහතා සහ බූඩ්විජන් ග්රෝන්වෙල්ඩ් මහතා ද ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය සමඟ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන චානකි එච්. රණතුංග මහත්මිය, ධනුෂ්ක පෙරේරා මහතා සහ ටී එන් අමෝන් මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
