මාලන් විතාන
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට වසර 57 ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් පිංකම සහ සාංඝික දානමය පුණ්‍යකර්මය පසුගියදා මහරගම, නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදුණි.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිතුමිය, අධ්යක්ෂ මණ්ඩලය සහ සමස්ත කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම පිංකම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න මහත්මියගේ පුර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් මත සිදු කෙරිණි.
රාජ්‍ය අනුග්‍රහය ලබන ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස දේශීය ආයුර්වේද ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් දශක පහකට අධික කාලයක් පුරා සිදුකළ සේවය ඇගයීම සහ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගැනීම මෙන්ම වත්මන් පාලනාධිකාරිය ඇතුළු සමස්ත සේවක මණ්ඩලයට සහ සමස්ත රටවැසියන්ට සෙත් පැතීමත් මෙම පිංකමේ මුලික අරමුණ විය.
මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික පිරිත් පිංකම සිදු කිරීමෙන් අනතුරුව පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීම, අටපිරිකර සහ අනෙකුත් පිරිකර පූජා කර පින් අනුමෝදන් කිරීම ද සිදු විය.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව (SLADC) 1969 මැයි 11 වන දින පිහිටුවනු ලැබූ අතර, ඒ අනුව සංස්ථා ව 2026 වසරේදී සිය 57 වන අභිමානවත් වසර සපුරනු ලබයි. 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ ආරම්භ වූ මෙම ආයතනය, දශක පහකට වැඩි කාලයක් පුරා මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස රජයේ රෝහල්, ආයුර්වේද වෛද්‍යවරුන් සහ පොදු ජනතාව වෙනුවෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ සැපයීමේ නිරතව සිටී.
සංස්ථා ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා වූ ඉහළම මූල්‍ය ප්‍රගතිය අත්කර ගනිමින්, පසුගිය 2025 වසරේදී රුපියල් මිලියන 1,688 ක වාර්තාගත විකුණුම් ආදායමක් උපයා ගැනීමට ද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත් විය. එමෙන්ම පාරිභෝගික ජනතාව වෙනුවෙන් නව නිෂ්පාදන 07 ක් ද පසුගිය වසරේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.
නාවින්න සහ පතිරගොඩ පිහිටි ප්‍රධාන නිෂ්පාදනාගාර කේන්ද්‍ර කරගනිමින් වර්තමානය වන විට ඖෂධ වර්ග 194 ක් සහ නිෂ්පාදන ඒකක 450 කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න, කළමනාකාර අධ්යක්ෂ වෛද්‍ය M.J. මාරසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස්වරු, ප්‍රධාන විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
