මාලන් විතාන
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ධීවර ප්‍රජාව සහ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීම සඳහා රජය විසින් පුළුල් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
දිට්වා අපදා වෙනුවෙන් රජය ලබා දී ඇති සහන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කරදිය සහ මිරිදිය ධීවරයින් වෙනුවෙන් විශේෂ සහන සැලසීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් විනාශ වූ ධීවර යාත්‍රා වෙනුවට නව යාත්‍රා ලබා දීමටත්, අර්ධ වශයෙන් හානි වූ යාත්‍රා අලුත්වැඩියා කර දීමටත් කටයුතු යොදා තිබේ. තවද, සුදුසුකම් ලත් ධීවරයින් සඳහා අවශ්‍ය ධීවර දැල් ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
දිට්වා හේතුවෙන හානි වූ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු යළි ආරම්භ කිරීම සඳහා වාර්ෂිකව 3%ක සහන පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා. රුපියල් මිලියන 10,000ක මුළු ප්‍රතිපාදන සහිත මෙම වැඩසටහන බැංකු 15ක් හරහා ක්‍රියාත්මක වෙනවා, 2026 අප්‍රේල් 28 දින වන විට ව්‍යවසායකයින් 2,800ක් සඳහා රුපියල් මිලියන 3,812ක ණය මුදල් මේ මගින් ප්‍රදානය කර තිබෙනවා.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර කඩිනමින් සක්‍රීය කිරීමේ අරමුණින් මාස 6ක සහන කාලයක් සහිතව උපරිම වසර 3ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දීමටත් කටයුතු කළා. ඒ වගේම මේ ණය අයදුම් කිරීමේදී ව්‍යාපාරය කුණාටුවට පෙර සක්‍රීයව පැවති බවට සහ හානියට පත් වූ බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ මෙහිදී අනිවාර්යයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත, බලපත්‍රලාභී බැංකු මගින් 2026 ජනවාරි 31 දින දක්වා ණය ආපසු ගෙවීම අත්හිටුවීමට සහ දඩ පොලී අය නොකිරීමට පියවර ගත් බවත්, විපතට පත් ව්‍යවසායකයින් සඳහා වන්දි ගෙවීමේ කටයුතු මේ වන විටත් අදාළ අමාත්‍යාංශවල චක්‍රලේඛ සහ ආපදා සහන මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
