Spread the love

නිමල් රාජපක්ෂ

වසර එකහමාරක කාලය තුළ තැපැල් සේවාවට 2258 ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1955 ක් බඳවාගෙන ඇති බවත්, ලබන මස පළමු දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමත් සමග එම සම්පූර්ණ ප්‍රමාණය 2258 ක් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ වත්මන් රජයේ මඟපෙන්වීම යටතේ උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට (Human Resource Strengthening) පියවර ගනිමින් දීර්ඝ කාලයක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිණි.

මෙම පත්වීම් ප්‍රදානොත්සවය ප්‍රධාන තැපැල් මූලස්ථානයේ දී අද (18) පෙරවරුවේ පැවැත්විණි.

මෙරට තැපැල් සේවාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ජනතාවට තැපැල් සහ මූල්‍ය සේවා පහසුවෙන් ළඟා කර දීම සඳහා පිහිටුවා ඇති උපතැපැල් කාර්යාල ජාලය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සපයන පද්ධතියක් බවට පත් කිරීමට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ගෙන යන වැඩපිළිවෙල යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරුණි. එහි දී 2019 වසරේ පමණ සිට වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ එම නිලධාරීන් ස්ථිර කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2020 ඔක්තෝම්බර් 15 දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරන ලද වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකුට මෙලෙස ස්ථීර පත්වීම් පිරිනැමීමට හැකි විය.

පත්වීම් ප්‍රදානයෙන් පසු උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ උපතැපැල් ස්ථානාධිපති සේවයට අදාළව වසර 7 ක් තිස්සේ විසදුම් නොලැබුණු ගැටළුවකට පසුගිය කෙටි කාලය තුළ ගන්නා ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ග්‍රාමීය ප්‍රදේශවල උපතැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ මෙම කණ්ඩායමට රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබාදීමට හැකියාව ලැබුණු බවයි.

ශ්‍රී ලංකා තැපෑල මෙරට ආර්ථිකයේ කොටසක් වන බවත්, තැපෑල වැටුනොත් ආර්ථිකය ද කඩා වැටෙන බවත්, සඳහන් කළ අමාත්‍යවරයා ඉතිහාසය තුළ එක්තරා කාලයක් තැපෑලට නොසලකා හැර තිබෙන බව ද පැවැසීය. තැපෑලට අදුරු කාලයක් ආ යුගයේ ආර්ථිකය ද එම මට්ටමේ අඳුරක පැවැති බවත් තැපෑල යනු ඉතිහාසයකන් පමණක් නොව ආර්ථිකය ඇතුළු එකිනෙකට සම්බන්ධ වූ තැනක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

තැපැල් සේවාවේ සේවා සපයන ප්‍රධාන ආයතනයක් වන උපතැපැල් කාර්යාල 3410 මෙරට පවතින බවත්, ඒවා සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවත්, ආදායම් අනුව දීමනා වැඩිකරමින්, අළුතින් උපතැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකරමින්, ප්‍රවාහන, තාක්ෂණික, මානව සහ භෞතික සම්පත් ද සංවර්ධනයට රජය පියවර ගෙන ඇති බවත්, ලබන වසරේ සියලුම උපතැපැල් කාර්යාල සඳහා පරිගණක සහ ටැබ් යන්ත්‍ර ලබාදෙමින් තාක්ෂණයෙන් පරිපූර්ණ සේවාවක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ලබාදී ඇති ආදායම් ඉලක්ක සම්පූර්ණ කරමින් සහ ඉක්මවා යාමට කටයුතු කළ යුතු බවත්, ලබා දී ඇති අවම ඉලක්කයටවත් ළඟාවිය නොහැකි තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල වේ නම් ඒ පිළිබඳ තීරණයක් ගත යුතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය කියා සිටියේ පසුගිය කාලය තුළ තැපෑලට කුඩම්මාගේ සැලකිලි දක්වමින් තැපෑල විකිණීමට කටයුතු කරමින් සිටි බවත්, අප්‍රසන්න තැනක් බවට පත් කර තිබූ තැපෑල අද වන විට සේවක ගැටළු විසඳමින් භෞතික සම්පත් සපුරාලමින් නව පනක් ලබා ඇති බව පැවසුවාය. සමස්ත රාජ්‍ය සේවයම බිඳ වැටේ තිබුණු කාලයක රාජ්‍ය සේවය ශක්තිමත් කරමින්, බඳවා ගැනීම් දේශපාලනීයකරණය නොකරමින්, සුදුසුකම්ලත් පිරිස් නිසි ක්‍රමවේදයට බඳවා ගනිමින්, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවමින් රාජ්‍ය සේවය ශක්තිමත් කර ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

රාජ්‍ය සේවය පිළිබඳ කථිකාවතක් ගොඩනැගී තිබූ කාලයක රාජ්‍ය සේවය කෙරෙහි හොඳ දැක්මක් ජනතාව කෙරෙහි ඇති කිරීමටත් සේවයේ යෙදෙන අයට සතුටින් වැඩකිරීමට අවස්ථාව ලබාදීමත් රජයේ දැක්ම ප්‍රතිපත්තිය හා අපේක්ෂාව බවත්, පැරණි තැපැල් කන්තෝරුව නව දැක්මකින්, නව ඇසකින් සියලුම ජනතාවට සේවා ලබා ගැනීමට හැකි තැනක් බවට පත් කිරිමට නව පත්ලාභීන් කටයුතු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහි දී සඳහන් කළා ය.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙහි දී අදහස් දක්වමින්, දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් ලබාගැනීමට නොහැකිව තිබූ උපතැපැල් ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ඉල්ලීමකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උත්සාහය තුළ ඉතා කෙටි කාලයක් තුළ මෙවන් ස්ථාවර විසඳුමක් ලබාදීමට හැකියාව ලැබුණූ බව සඳහන් කළේය.