Spread the love

නිමල් රාජපක්ෂ-

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (19) පෙරවරුවේ පැවැත්වීණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය මෙහිදී නායකත්වය, පෞරුෂ සංවර්ධනය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව සිසුවියන් දැනුවත් කළාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමගින් පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව පෙන්වා දෙන ලදී.

තම ජීවිතයේ සෑම අත්දැකීමක්ම පරීක්ෂණයට ලක් කිරීම තුළින් ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කළ හැකි බවත්, එක් විෂය දැනුමකට පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකම අත්හදා බැලීම් සිදු කරමින් නව නිපැයුම් කේෂ්ත්‍රය ජයගැනීමට දරුවන් පාසල් අවධියේ සිටම හුරුපුරුදු වීමේ වැදගත්කමත් විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි,  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා මධුභාෂිණී, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී. එම්. ලාල් දිසානායක යන මහත්ම මහත්මිහුද, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.