නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් රැකවරණ මධ්‍යස්ථාන 459ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර, ඉන් 148ක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන ඇත. එමෙන්ම කතරගම, පන්නල සහ ගම්පහ මාලිගාතැන්න යන ස්ථානවල ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මඟින් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 3ක් ක්‍රියාත්මක කරනු ලබයි.
ජාතික ජන බලවේග රජයේ “ගෞරවනීය ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් – අර්ථවත් විශ්‍රාම දිවියක්” යන ප්‍රතිපත්තියට අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින්, දැනට පවත්වාගෙන යන සියලුම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන මඟින් එක හා සමාන ගුණාත්මක සේවාවක් වැඩිහිටියන්ට ලබාදීම සඳහා, එම මධ්‍යස්ථාන නියාමනයට අදාළ නියෝග හා මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ උපදෙස් පරිදි, වැඩිහිටි පුද්ගලයන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වන විට සිදු කරමින් පවතී.
ඒ අනුව, වැඩිහිටි පුද්ගලයන් සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයන් සහ විෂය ක්ෂේත්රයේ ප්‍රවීණ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මඟින් දැනට සකස් කර ඇති කෙටුම්පත පිළිබඳ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම සඳහා වැඩමුළුවක් පසුගිය 21 වැනිදා බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සමාජ සේවා අධ්යක්ෂවරුන් සහ විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී අදහස් දක්වමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන් කළේ, රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ හුදෙක් වැඩිහිටි නිවාස ඉදිකිරීම පමණක් නොව, දරුවන් විසින් තම දෙමාපියන් ආදරයෙන් රැකබලා ගන්නා “සුපිළිපන් සමාජයක්” නිර්මාණය කිරීම බවයි. එමෙන්ම, මෙම සමාජය ගොඩනැගීමට දායක වූ දැනට ශාරීරික හා මානසිකව දුර්වල තත්ත්වයේ පසුවන වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා විධිමත් නෛතික රාමුවක් සහ රෙගුලාසි පද්ධතියක් හඳුන්වාදීමට රජය මේ වන විටත් සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.
ආර්ථික අපහසුතා හෝ වෙනත් පෞද්ගලික හේතූන් මත තම දෙමාපියන් රැකබලා ගැනීමට නොහැකි වන දරුවන්ට මෙන්ම, විශ්‍රාම වැටුප් හෝ දේපළ තිබුණද හුදකලා වන වැඩිහිටියන්ට ගෞරවනීය සැඳෑ සමයක් ගත කිරීමට අවශ්‍ය අවස්ථා මෙමඟින් සැලසෙන බව ද වසන්ත පියතිස්ස මහතා සඳහන් කළේය. කතරගම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය ආදර්ශයක් ලෙස ගනිමින්, වැඩිහිටියන්ට උසස් සේවාවක් සහ රැකවරණයක් ලබාදිය හැකි මධ්‍යස්ථාන ඉදිකිරීමට එක්වන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළ ඔහු, ඒ සඳහා රජය සහ පළාත් සභා අවශ්‍ය මඟපෙන්වීම් සහ සහයෝගය ලබාදීමට සූදානම් බව ද අවධාරණය කළේය.
.
