Spread the love

නිමල් රාජපක්ෂ-

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අද ( 24) පෙරවරුවේ එක්වෙමිනි.


එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යතුමා මෙසේ ඳ පැවසීය.
පූගොඩ අධිකරණය විවෘත කර නඩු කටයුතු පවත්වාගෙන යෑමට ඉඩකඩ ලබා දීමට හැකිවීම පිළිඳව ඉතාමත් සතුටුයි. අතරමැද නවතා තිබු අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම මා මේ අමාත්‍යාංශය භාර ගන්නා විට හදුනාගත් ගැටලු අතරින් ප්‍රධානයි.

ගාල්ල සහ පූගොඩ එවැනි ප්‍රධාන ව්‍යාපෘති දෙකක් බවට හදුනා ගනු ලැබුවා. පූගොඩ අධිකරණයේ උපදේශන සේවා සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පිරිනමලා තියෙන්නේ 2018 වසරේදීයි. 2020 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘති මේතරම් මන්දගාමීව සිදුවන්න හේතුව මොකක්ද කියලා මා සොයා බැලුවා. හිටපු පාලකයන් මෙම ආයතනවල ‍මුදල් මැතිවරණ ප්‍රචාරණවලට වියදම් කරලා මෙම ආයතන බංකොලොත් තත්වයට පත් කරලා තිබුණා. පෞද්ගලිකවම සොයා බලා අමාත්‍යාංශයේ ඉංජිනේරු කාර්ය මණ්ඩලයත් සමග මෙම අධිකරණ සංකීර්ණවල වැඩ අවසන් කර ගන්න ඇමතිවරයා විදිහට මට සිදු වුනා.

මා පෞද්ගලිකව මේ ස්ථානය පරීක්ෂා කලා. පසුව ඉදිකිරීම් ඇමතිතුමා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නව සභාපතිතුමා සමග එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කර ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා දීමට අත්තිකාරම් මුදල් ලබා ගැනීමට අනුමැතිය ගත්තා.
මේ අධිකරණය පවත්වාගෙන ගියේ ඉතාමත් අඩු පහසුකම් සහිත ස්ථානයකයි. ඒ හේතුවෙන් විනිශ්චයකාරතුමන්ලා අධිකරණ කාර්ය මණ්ඩලය අපේ සහෝදර නීතිඥවරුන් සියලුදෙනාම දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඒ නිසාම විශේෂ අනුමැතීන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වර්ෂයේ මිලියන රුපියල් 441ක මුදලකට ආරම්භ කල මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් රුපියල් මිලියන 882.5 ක පිරිවැයකට අවසන් කිරීමට හැකි වුණා. ඒ අනුව මහල් 3කින් සමන්විත මේ ගොඩනැගිල්ලේ දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් හා පරිවාස කාර්යාලයක් ඇතුලු අධිකරණ සඳහා අවශ්‍ය බොහෝ පහසුකම් රැසක් සපයා තිබෙනවා.


එමෙන්ම මෙම අධිකරණයට ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා නවීන වීඩියෝ කට්ටල ලබා දිමටද කටයුතු කරනවා. මේ අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ පැරණි අධිකරණය තිබුණු නගර මධ්‍යයේ ඉතාමත් මාර්ග තදබදයක් පවතින ස්ථානයකයි. ඉදිරියේදී මේ මාර්ගය පුළුල් වීමත් සිදුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මට දැනුම් දුන්නා. නීතිඥ මහත්වරුන්ගේ රථවාහන නැවැත්වීමට අවශ්‍ය පහසුකම් මෙම අධිකරණ පරිශ්‍රය තුළ නැහැ.


ඒ සඳහා අධිකරණයට යාබද ඉඩම පවරාගෙන පහසුකම් ලබාදීමට උපරිම උත්සාහයෙන් කටයුතු කරනවා. මේ අධිකරණයට ආසන්නව පවතින පර්චර් 80 ක පමණ ඉඩමක් තිබෙනවා. එම ඉඩම නීතිඥවරුන්ට කාර්යාල සංකීර්ණයක් ඉදි කර ගැනීම වෙනුවෙන් පවරා ගත හැකිද යන්න සොයා බලා කටයුතු කරනවා.