Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු, ඊයේ නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස ගබඩාකර තිබූ විදේශීය දුම්වැටි හත් දහසක‍ (7,000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගන්නා ලදි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන නොරොච්චොලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.