Spread the love

නිමල් රාජපක්ෂෂ

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන “ලෝක මානසික සෞඛ්‍ය දිනය” (World Mental Health Day) වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සංවිධානය කරන ජාතික වැඩසටහන් මාලාවේ ජාතික සැමරුම් උත්සවය සහ දැනුවත් කිරීමේ පා ගමන පිළිබඳව මාධ්‍ය සහ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය “ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු : සැබෑ හඬ, සැබෑ වෙනස” යන තේමාව යටතේ සමරනු ලබන අතර, වත්මන් සමාජය තුළ මානසික සෞඛ්‍යය රැකගැනීමේ වැදගත්කම සහ ඒ වෙනුවෙන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරුණි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහීෂිකා වන්නිඅච්චි, මනෝ වෛද්‍ය විශේෂඥ ගයනි සිරිවර්ධන,  මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජය බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා මෙහිදී පෙන්වා දෙන ලද්දේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මානසික රෝගීන් පමණක් ඇතුළත් කර ගන්නා ආයතනයක් බවත්, මෙරට සියළුම මානසික රෝග සම්බන්ධ කාර්ය මණ්ඩලය පුහුණු කිරිමේ ප්‍රමුඛතම ආයතනය ද වන බවයි. මානසික රෝග සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට පුහුණුව ලබාදෙමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පසුගිය වසර තුළ 20,000 කට ආසන්න පිරිසකට පුහුණුව ලබා දී ඇති බවද පැවසිය.

මානසික රෝග සියළු වයස් කාණ්ඩ මෙන්ම මානසික රෝග සෑම ක්ෂේත්‍රයක් පුරාම පැතීරී ඇති බවත්, මානසික රෝග හදුනා ගැනීම, සමාජය ඊට දක්වන බිය තුරන් කිරිම, සමාජ කොන් කිරිම් නැති කිරිම ඉතා වැදගත් කාර්යයක් බවත්, ආයතනය මගින් පාසල් දරුවන්, ආචාර්යවරුන්, තරුණයින් ඇතුළු පිරිස් ඉළක්ක කර ගනිමින් ඉළක්ක ගත වැඩසටහන් රාශ්‍රියක් දියත් කර ඇති බවත්, විශේෂිත ප්‍රතිකාර ලබන ස්ථාන වන බන්ධනාගාර වැනි ස්ථානවල වන පුද්ගලයින්ගේ මානසික තත්ත්වයන් හදුනාගෙන ප්‍රතිකාර සේවා සඳහා යොමු කිරිම සම්බන්ධව බන්ධනාගාර නිලධාරින් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරිමට වැඩසටහන් දියත් කර ඇති බවද පැවැසීය.

රජය විසින් මානසික සෞඛ්‍ය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇති බවත්, සෑම පාසලකම මානසික සෞඛ්‍ය පිළිබඳ උපදේශකයෙක් සිටිය යුතු බවට තීරණය කර ඇති බවත්, එම උපදේශකයින් පුහුණු කිරිම සහ පහසුකම් සැපයීම ද විද්‍යායතනය සිදු කරන බව ද පැවැසීය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දහසකට අධික රෝගීන් ප්‍රමාණයක් දෛනිව ප්‍රතිකාර ලබන බවත්, දිනකට රෝගීන් 60 ක් පමණ රෝහලට ඇතුළත්වීමට පැමිණෙන බවත්, එම රෝගීන්ගේ ප්‍රතිකාර කිරිම් තුළින්  විශාල අත්දකීම් සහ දැනුම ලබාගන්නා බව ද පැවැසූ අධ්‍යක්ෂවරයා එම දැනුම රෝගී ප්‍රතිකාර සහ දැනුවත් කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා බව ද පැවසීය. 400 ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව නිවෙස් වලට යා නොහැකිව සිටින බවද වයස අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ 200 ක් පමණ පිරිසක් සිටින බව ද පැවැසිය. රජය සහ පෞද්ගලික අංශ මැදිහත්ව ප්‍රාදේශිය වශයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීමේ වැදගත්ම ද ඒ මහතා පෙන්වා දෙන ලදි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සමාජ මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද 1926 විශේෂ සේවාව හරහා ඕනෑම අවස්ථාවක ජනතාවට සිය මානසික ගැටළු ඉදිරිපත් කර උපදෙස් ලබාගත හැකි බවද සායන සඳහා සහභාගි විය බවද වැඩිදුරටත් පැවැසීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහීෂිකා වන්නිඅච්චි මහත්මිය මෙහිදී පවසන ලද්දේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සහ සිංහ සමාජ ජාත්‍යන්තර දිස්ත්‍රික් 306 D5 (Lions International District 306 D5) එකතුවෙන් සංවිධානය කරන මානසික සෞඛ්‍ය දින පාගමන 2026 (Mental Health Day Walk 2026)  ඔක්තෝබර් 10 සෙනසුරාදා පෙ.ව. 7.30 ට දියත උයන, බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය පිටුපස ඇති රථ ගාල අසලින් ආරම්භව රාජගිරිය ගුවන්පාලම හරහා නැවත ආරම්භක ස්ථානයට පැමිණීමට නියමිත බවයි. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 500 ක පමණ පිරිසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරන බවත්, පාගමන පුරා ප්‍රදර්ශනය කෙරෙන විශාල බැනර් 8ක් මඟින් පණිවිඩ සමාජයට ඉදිරිපත් කරන බව මෙම පාගමනින්

මහජනතාව වෙත  ප්‍රධාන පණිවිඩ 3 ලබාදීමට අපේක්ෂා කරන බව ද පැවසුවාය.

ඒ අනුව විඳි අත්දැකීම්වලට සවන් දෙන්න (LISTEN TO LIVED EXPERIENCE), සෑම හඬක්ම අගය කරන්න (VALUE EVERY VOICE), ඒ හඬවල් අර්ථවත් වෙනසක් බවට පත් කරන්න (TURN VOICES INTO MEANINGFUL CHANGE) යන්න එම පණිවිඩ බවත්, මානසික සෞඛ්‍ය දින ප්‍රධාන උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (09) සිකුරාදා දින පෙරවරු 11.00 ට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්වෙන බව ද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ ගයනි සිරිවර්ධන මහත්මිය මෙහිදී පැවසූවේ ලෝක මානසික සෞඛ්‍ය දිනය අරමුණු කර ගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති ඉවත් ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි. මෙහිදී විශේෂ අවධානය යොමු වූ කණ්ඩායමක් ලෙස යොවුන් වියේ දරුවන් පෙන්වා දිය හැකි බවත්, එහිදී වර්තමානයේ ගැටළුවක්ව ඇති මත් ද්‍රව්‍ය භාවිතය සහ ඩිජිටල් තිරවලට ඇබ්බැහිවීම වැනි කාරණා පිළිබදව එම දරුවන් දැනුවත් කිරිමට, ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටත්, ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරිමට වැඩසටහනක් දියත් කළ බව ද පැවසුවාය. අභීයෝගාත්මක පරිසරයන්හි සේවය කරන කාර්ය මණ්ඩලවල මානසික තත්ත්වයන් ශක්තිමත් කිරිම පිළිබඳව සළකා බැලීමට වැඩපිළිවෙලක් ද දියත් කළ බව ද ඉදිරි දිනවල ද ඒ සඳහා වැඩසටහන් මාලාවක් දියත් කෙරෙන බව ද පැවැසුවාය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජය බණ්ඩාර මහත්මිය පැවසූවේ මානසික රෝපීඩාවලට ලක්වූවන් ප්‍රතිකාර ලබාගන්නවාට වඩා වැඩි ප්‍රවණතාවයක් තිබෙන්නේ ප්‍රතිකාර නොගෙන සිටීමට බවත්, ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල මානසික අසනීප තත්ත්වයන් තිබෙන පස් දෙනෙකුගෙන් ක් අයෙක් පමණක් ප්‍රතිකාර සඳහා යොමුවන බවත්, ඊට විවිධ හේතු පවතින බවද පැවැසූ අතර, ඒ පිළිබඳ කළ පර්යේෂණවල ප්‍රතිඵල හැටියට 2018 ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් 1926 පැය 24 පුරා ක්‍රියාත්මක ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාවක් ආරම්භ කළ බව පැවැසුවාය. මෙයින් පැය 24 පුරා මානසික සෞඛ්‍ය සම්බන්ධ උපදෙස් ලබාදෙන බවත්, මෙම උපදේශණ සේවාව ආරම්භ කළ පසුගිය වසර 08 තුළ ලක්ෂ 02 කට අධික දුරකථනක සංවාද පවත්වා ඇති බව ද ඉ පැවැසුවාය.  

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන පුද්ගලයන්ගේ සැබෑ හඬට සහ ඔවුන්ගේ ජීවිත අත්දැකීම්වලට ඇහුම්කන් දීම තුළින් සමාජයීය වශයෙන් විශාල ධනාත්මක වෙනසක් ඇති කළ හැකි බවයි. එමෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳ පවතින දුර්මත දුරු කරමින්, අවශ්‍යතා සහිත පිරිස් වෙත නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සැමවිටම කැපවී සිටින බවද ඔවුහු අවධාරණය කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.