Spread the love

නිමල් රාජපක්ෂ-

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, දිවයින පුරා සක්‍රීය ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ග්‍රාමීය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ කරා යෑමට දොරගුළු විවර කරමින් ක්‍රියාත්මක වන පාසල් ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, බදුල්ල ධර්මදූත විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩාපිටි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ නිල උත්සවය අද (10) දින ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම විශේෂ සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩාපිටිය සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 76,509,781.15 කි (රු. ලක්ෂ 765.10) කි.

මෙම දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය මගින්, බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමටත්, කලාපීය ක්‍රීඩා පහසුකම් උසස් මට්ටමකට ඔසවා තැබීමටත් අපේක්ෂා කෙරේ.

මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාව සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින්, විදුහල්පතිනිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, පාසල් සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.