නිමල් රාජපක්ෂ-
සර්බියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, සර්බියාවේ කම්කරු හා රැකියා කටයුතු සම්බන්ධයෙන් සිය සමගාමී රාජ්‍ය නියෝජිතයා වන කම්කරු, රැකියා, යුධ විරුවන් සහ සමාජ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Đorđe Todorov මහතා සමඟ අද දින(31) වැදගත් සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාව බෙල්ග්‍රේඩ්හි පිහිටි සර්බියානු කම්කරු, රැකියා, යුධ විරුවන් සහ සමාජ කටයුතු අමාත්‍යාංශ මූලස්ථානයේදී පැවැත්විණි. ඔස්ට්‍රියාවේ වියානා නුවර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ මහේෂ් ගුණවර්ධන මහතා ද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී විය.
සර්බියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති හමුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලාංකික සේවකයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සහ ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග සර්බියානු පාර්ශ්වය සමඟ සෘජුව සාකච්ඡා කෙරිණි.
එම ගැටලු සඳහා ප්‍රායෝගික හා ක්‍රියාත්මක කළ හැකි විසඳුම් හඳුනාගැනීමේදී මෙම හමුව වැදගත් පියවරක් වූ අතර, සේවක සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා දෙරටේ අදාළ ආයතන අතර වඩාත් විධිමත් සහ සම්බන්ධීකෘත යාන්ත්‍රණයක් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
එමෙන්ම සර්බියාවේ විවිධ ක්ෂේත්රයන්හි ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සහ දෙරට අතර රැකියා සහයෝගීතාව වඩාත් ව්‍යුහගත හා දිගුකාලීන පදනමක් මත ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.
