මාලන් විතාන –
රෝගී සුරක්ෂිතතාව තහවුරු කිරීම සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ජනතා විශ්වසනීයත්වය තීරණය කරන මූලික සාධකයක් බැවින්, ඒ පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම, අවබෝධය හා වගකීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමී විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.
සෑම වසරකම සැප්තැම්බර් 17 වැනිදා ලෝක රෝගී සුරක්ෂිතතා දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී සිදුවිය හැකි වළක්වාගත හැකි හානි අවම කිරීම, රෝගීන්ට ඇති අවදානම් හඳුනාගෙන ඒවා වැළැක්වීම සහ සෑම පුද්ගලයෙකුටම සුරක්ෂිත, ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් හිමිවන බව තහවුරු කිරීම මෙහි මූලික අරමුණු වේ.
“Safe care for noncommunicable diseases” හෙවත් “බෝ නොවන රෝග සඳහා සුරක්ෂිත සත්කාර” යන්න 2026 වසරේ ලෝක රෝගී සුරක්ෂිතතා දිනයේ තේමාව වන අතර, “Safe care for life!” – “ජීවිතය පුරා සුරක්ෂිත සත්කාර” යන්න එහි ප්‍රධාන පාඨය ලෙස ඉදිරිපත් කර ඇත. බෝ නොවන රෝග සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර, අඛණ්ඩ පසු විපරම් සහ සෞඛ්‍ය සේවාවේ විවිධ මට්ටම් සමඟ සම්බන්ධ වූ අඛණ්ඩ සත්කාර අවශ්‍ය වන බැවින්, රෝගියාගේ සත්කාර ගමන්මඟේ සෑම අදියරකදීම සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම මෙවර අවධාරණය කරයි.
හෘද රෝග, පිළිකා, දියවැඩියාව සහ නිදන්ගත ශ්වසන රෝග ඇතුළු බෝ නොවන රෝග සම්බන්ධයෙන් නිවැරදි රෝග විනිශ්චය, සුදුසු හා කාලෝචිත ප්‍රතිකාර, සුරක්ෂිත ඖෂධ භාවිතය සහ අඛණ්ඩ පසු විපරම් සහිත සත්කාර ලබාදීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ සෑම මට්ටමකදීම වෘත්තීය ප්රමිතීන් ආරක්ෂා කරමින්, රෝගියා කේන්ද්‍ර කරගත්, වගකීම් සහගත හා කාර්යක්ෂම සේවා සංස්කෘතියක් පවත්වාගෙන යාම අතිශය වැදගත් වේ.
ලෝක රෝගී සුරක්ෂිතතා දිනයේ අරමුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතර තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබූ අතර, එහි ප්‍රධාන සැමරුම් උත්සවය ඊයේ පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා රෝහලක ගුණාත්මකභාවය ඉහළ නැංවීම එක් පුද්ගලයෙකුගේ හෝ එක් වෘත්තීය කණ්ඩායමක වගකීමක් පමණක් නොවන අතර, රෝහල තුළ සේවය කරන සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහයෝගීතාව, කැපවීම සහ සාමූහික වගකීම මත එය රඳා පවතින බවයි. එම සාමූහික ශක්තිය ඒකාබද්ධ කර ගනිමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වර්තමානයේ පවතින තත්ත්වයෙන් තවදුරටත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය.
මෙරට රෝගී සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අංශය තවදුරටත් ශක්තිමත් කරමින් රෝගී සුරක්ෂිතතා හා ප්‍රතීතන කාර්යංශයක් බවට පරිවර්තනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එමගින් මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රතිකාර ක්‍රියාවලීන් වඩාත් ගුණාත්මක, ප්‍රමිතිගත හා සුරක්ෂිත මට්ටමකට ගෙන ඒම සඳහා ශක්තිමත් ආයතනික පදනමක් සැලසෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වත්මන් රජය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වැය කරමින් සිටින බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, ඒ සමඟම ජනතා අවශ්‍යතා සපුරාලීම හා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘති රැසක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.
