Spread the love

නිමල් රාජපක්ෂ

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා දුම්රිය ස්ථාන සියයක පහසුකම් වැඩිදියුණු කර, නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තය’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය මගී ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලබාදීම අද දින (2026.09.10) බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක සහභාගීත්වයෙන් යලි මහජන භාවිතය සඳහා පත් කෙරිණ. බම්බලපිටිය දුම්රිය ස්ථානය, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පොදු ප්‍රවාහන සේවා සැලසුම්කරණය යටතේ Clean Sri Lanka ලේකම් කාර්යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි.

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ Dream destination වැඩපිලිවෙල යතාර්ථයක් කරමින් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ ප්‍රධාන ගොඩනැගිල්ල, වේදිකා අංක 01 සහ 02, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, විදුලි හා ජල පහසුකම් විධිමත් කිරීම, ආරක්ෂිත කැමරා පද්ධති, මහාමාර්ගය හා දුම්රිය මාර්ගය අතර ගුවන් පාලම අලුතෙන් ඉදිකිරීම, ආපනශාලාව ඇතුලු දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සියලු යටිතල පහසුකම් නවීකරණය කර ඇත.මේ සඳහා රුපියල් මිලියන 60 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඇති අතර එය මෙරට සිටින බෝරා ප්‍රජාවගේ දායකත්වයෙන් ලබාදී ඇත. 2026 මාර්තු 19 දින නවීකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මාස 5 ක කාලයකින් ඇතුලත ව්‍යාපෘතිය නිම කෙරිණ.

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය මගින් මේ වනවිට තල්පේ, නාරාහේන්පිට, මරදාන සහ පොලොන්නරුව දුම්රිය ස්ථානයන් පෞද්ගලික අංශයේ මූල්‍ය ප්‍රතිපාදන වැයකර, නවීන පහසුකම් සහිතව සංවර්ධනය කර ජනතා පරිහරණයට පවරා ඇත.

නවීකරණය කර දුම්රිය ස්ථානය යලි ජනතා භාවිතයට පත්කිරීමෙන් පසු පැවති උත්සවය ආමන්ත්‍රණය කළ එරංග ගුණසේකර අමාත්‍යවරයා,

” ජනතාවාදී ආණ්ඩුවක් යටතේ වසර 2ක් සනිටුහන් වන අවස්ථාවක ජනතාවට දෛනික පහසුකම් අත්විඳින ස්ථානයක සේවාවන් කෙටි කලක් තුල වැඩි දියුණු කිරීමට හැකි වීම ගැන සතුටු වෙනවා.

සුවපහසු ආරක්ෂිත, ආකර්ශනීය ප්‍රවාහන සේවයක් අපේ රටේ ජනතාවට ලබා දීම ක්‍රමාණුකූලව කරමින් පවතිනවා.සිහින ගමනාන්ත වැඩසටහනින් මූලිකවම දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කරනවා.මීට වසර දෙකකට කලින් මෙම ස්ථානයත් වෙරල තීරයත්, මහාමාර්ගයත් අපායක් බවට පත් වෙලා තිබුනා.රටත් එහෙමයි තිබුනේ.

මෙරට සිටින බෝරා ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් මෙම කාර්යය සාර්ථකව නිමකිරීම ගැන විශේෂ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා.ඒ වගේම තවත් වසරක කාලයක් මෙම ස්ථානයේ නඩත්තු කටයුතු සිදුකර මෙම වැඩපිළිවෙලට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.මෙරට සිටින බෝරා ප්‍රජාව සහෝදරත්වය, ජාතික සමඟිය, සහජීවනය පෙරදැරිව රටේ සංවර්ධන කාර්යයටත් උරදීම අගය කරනවා.එමෙන්ම මෙරට පෞද්ගලික අංශය රාජ්‍ය අංශය සමඟ එක්ව මෙවැනි ව්‍යාපෘති සඳහා මූල්‍ය හා සේවා දායකත්වය කැපවීම ආදර්ශයක්.පෞද්ගලික අංශය තම ප්‍රවර්ධනය නොසලකා සේවාවක් ලෙස මෙවැනි ව්‍යාපෘති ඉදිරිපත්වීම විශේෂිත තත්වයක් මීට පෙර ආදර්ශය උනේ වැඩක් කරලා තමන්ගේ නම ගහගන්න.බෝඩ් එකක් ගහගන්න පොරකෑවා.නමුත් ඒ තත්වය වෙනස් වී ආදර්ශමත් කාර්යයකට එක්වීම ගැන සමස්ත පෞද්ගලික අංශයටම ස්තූතිය පුද කරනවා.

ඉදිරි වසරේදී දුම්රිය සේවාවේ ප්‍රගමණය වෙනුවෙන් සහ මගී ජනතාවගේ ආරක්ෂිත ගමනාගමනය වෙනුවෙන් වැඩිම ප්‍රතිපාදන වෙන් කෙරෙනවා.මීට පෙර කවදාවත් එවැනි විශේෂ අවධානයක් යොමු උනේ නෑ.දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය පියවරෙන් පියවර ඉදිරියට ගෙනයනවා.ලංකාවට හීනයක් උන විදුලි දුම්රිය සේවාව ආරම්භ කරනවා.එහි නියමු ව්‍යාපෘතියට රුපියල් බිලියන 80ක ප්‍රතිපාදන වෙන්කෙරෙනවා.මූලිකව මරදාන සිට මා කුඹුර දක්වා මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

කැලනි වැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කරනවා.එය අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දීර්ග කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සිදු කරනවා.මහාමාර්ග සහ අධිවේගී මාර්ග පද්ධතිය තවත් පුළුල් කර සංවර්ධනය කරනවා.හයිලෙවල් මාර්ගය මංතීරු හතරක් ලෙස වැඩි දියුණු කර සංවර්ධනය කිරීමත් ආරම්භ කරනවා.එම නිසා අපි තනි තනිව නොව සාමූහිකව එක්ව ජාතික සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ගැනීමට ආදරයෙන් හා විශ්වාසයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මව්ලෆර්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කොලඹ මහනගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, එහි නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරල් කපිල සෙනරත්,අධ්‍යක්ෂ (ස්වෙච්චා) සේවා එච්.පී.එස්.සාන්ත, අධ්‍යක්ශ (සාමාජීය) චින්තක රාජකරුනා, අධ්‍යක්ශ (සම්බන්ධීකරණ) ඩබ්ලිව්.ඒ.ඩී.යූ.වීරකෝන්, දුම්රිය සාමාන්‍ය අධිකාරී Dawoodi Bohras Sri Lanka නියෝජනය කරමින් කොළඹ Dawoodi Bohras කොමිනිටි ප්‍රධානී ජනාබ් ආමීල් සාහෙබ් ඊබ්‍රාහිම් බායි සාහෙබ්, Dawoodi Bohras සංවිධානයේ නියෝජිත හුසෙයිමාහ් ජෙෆ්‍ රෙජී ඇතුළු විශේෂ නියෝජිතයන්, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉඳිපොලගේ, ප්‍රධාන ඉඦිනේරු (මාර්ග සහ පාලම්) ප්‍රියන්ත දීගල, අධිකාරි ඉංජිනේරු (පහල) අසංක ධර්මසේන යන මහත්ම මහත්මීන් සහ NIO Engineering ආයතනයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.