නිමල් , රාජපක්ෂ
තරුණ ප්‍රජාව අනාගත නිර්මාණකරුවන්, නව්යකරුවන් සහ ව්‍යවසායකයන් බවට පත්කිරීම අරමුණ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා පැවසීය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) විසින් සංවිධානය කරනු ලැබූ ProYouth AI Boot Camp – 2026 වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඔහු මේ බව පැවසීය. ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) සමග එක්ව පවත්වනු ලබන ProYouth AI තරගාවලියේ එක් ප්‍රධාන අංගයක් ලෙස ProYouth AI Boot Camp – 2026 පසුගිය දා (සැප්. 9 ) Grand Monarch හිදී ආරම්භ කෙරිණි. එය සැප්තැම්බර් 9 සහ 10 යන දෙදින තුළ පැවැත්විණ.
නැගී එන තාක්ෂණයන් ඵලදායී ලෙස වැලඳ ගැනීමට, නව්‍ය විසඳුම් සංවර්ධනය කිරීමට සහ තම කුසලතා හා අදහස් ඵලදායී හා වෙළඳපොළ මුඛ්‍ය ලෙස පරිවර්තනය කිරීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් බලගැන්වීම මෙම මුලපිරීමේ අරමුණ විය. එමගින් වඩාත් ශක්තිමත්, නව්‍යකරණය සහ ඵලදායිතාව පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීමට දායක වීම අපේක්ෂා කෙරිණි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රටට අවශ්‍ය තාක්ෂණය ගැන දැනුම ඇති තරුණයන් පමණක් නොවේ. අපේ සැබෑ ගැටලු හඳුනාගෙන, ඒවාට තාක්ෂණය භාවිතයෙන් විසඳුම් සොයන්න පුළුවන් තරුණ ප්‍රජාවක් අපට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ ඊළඟ තාක්ෂණික පරිවර්තනයේ නායකත්වය ගත යුත්තේ තරුණ ප්රජාවයි. AI කියන්නේ ලෝකය වේගයෙන් වෙනස් කරන නව තාක්ෂණ ප්‍රවණතාවක්. ඒ නිසා AI භාවිත කරන්නන් පමණක් නොවී, AI සමඟ අලුත් දේ නිර්මාණය කරන පරපුරක් බවට පත්වීම අවශ්‍යයි. ඔබේ අදහස් විශ්වාස කරන්න. නව දේ අත්හදා බලන්න. තාක්ෂණය ඔබේ ශක්තියක් කරගන්න.”
විශාල තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම Boot Camp වැඩසටහනට කෘත්‍රිම බුද්ධිය, නව්‍යකරණය, ඵලදායිතාව, ව්‍යවසායකත්වය සහ ඩිජිටල් කුසලතා කේන්ද්‍ර කරගත් ක්‍රියාකාකම් රාශියක් ඇතුළත් විය. ඊට ඇතුළත් වූ විශේෂඥයන් විසින් මෙහෙයවන ලද සැසි, නැගී එන AI ප්රවණතා, AI හි සදාචාරාත්මක භාවිතය, පෞද්ගලික ඵලදායිතාව, බුද්ධිමය දේපළ, අලෙවිකරණය මෙන්ම කුසලතා හා අදහස් වෙළඳපොළ අවස්ථා බවට පරිවර්තනය කිරීම පිළිබඳ ප්‍රායෝගික සහ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් තුළින් දැනුම ලබා දීම මෙහි දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ ප්‍රධාන නව්‍යකරණ නිලධාරී ආචාර්ය මුදිත සෙනරත් යාපා, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, තරුණ තරුණියන් ඇත්ළු විශාල පිරිසක් එක්ව සිටියහ.
