Spread the love

.

මෙම වසරේ පාසලට වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ රුපියල් මිලියන 1370 ක වියදමින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීමෙි උත්සවය අද (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

5000 ක් පමණ වන පාසලේ සිසු දරු දැරියන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක්ව පැවැති

ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුර්ණ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 42 කි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් විද්‍යාලයේ සිසුන්ට ක්‍රීඩා කටයුතු සඳහා වඩාත් පහසු, ආරක්ෂිත හා නවීන පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. එමඟින් සිසුන්ගේ ක්‍රීඩා දක්ෂතා හඳුනාගෙන ඒවා තවදුරටත් වර්ධනය කිරීමට මෙන්ම පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමද අරමුණු කර ඇත.

විශේෂයෙන්ම පාසල් සිසුන්ගේ අධ්‍යාපනික දැනුමට සමගාමීව ශාරීරික හා මානසික සෞඛ්‍යය වර්ධනය කිරීම, කණ්ඩායම් හැඟීම, විනය, නායකත්වය සහ සහයෝගීතාව වැනි ගුණාංග වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එබැවින් නවීන ක්‍රීඩා පහසුකම් සහිත පරිශ්‍රයක් පාසල් සිසුන් වෙත ලබාදීම ඔවුන්ගේ අනාගත ක්‍රීඩා දිවිය සඳහා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ පාසල් සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රධාන අංශයක් ලෙස ක්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි බවයි.

ආණ්ඩු ගණනාවකින් ක්‍රිඩා පිටිය සංවර්ධනයට කටයුතු කරන ලෙස ඉල්ලීම කර තිබූ බවත්, වත්මන් රජය රුපියල් මිලියන 42 ක මුදලක් එම කටයුත්ත සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත්, නියමිත දිනට සංවර්ධන කටයුතු අවසන් කරන බව ද පැවසීය.

එමෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීම උදෙසා මෙම වසරේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලබාදීමට මෙන්ම රුපියල් මිලියන 1370 ක වියදමින් පාසලේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන පන්ති කාමර ඉඩකඩ නොවීමට පිළියමක් ලෙස තෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙහිදී සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ ලංකාචන්ද්‍ර මහතා අදහස් දක්වමින් පාසලේ අවශ්‍යතාවයන් පිළිබඳ පාසලේ කිර්තිමත් ආදිශිෂ්‍යයෙකු වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රිඩා පිටිය සංවර්ධන කටයුතු වලට අමතරව පන්ති කාමර අවශ්‍යතාව උදෙසා තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අනුමැතිය ලැබී ඇති බවත්, නේවාසිකාගාර අවශ්‍යතාවය උදෙසා රුපියල් මිලියන 20 ක මුදලක් ලැබී ඇති බවයි.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, ධනුෂ්ක රංගනාත්, ජගත් පින්නගොඩ, මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නීතිඥ ලලිත් සිරිවර්ධන, මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමන්ති ගලප්පත්ති, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ ලංකාචන්ද්‍ර, නියෝජ්‍ය විදුහල්පති සුජීව ප්‍රියදර්ශණ, ආචාර්ය මණ්ඩලය, හිටපු විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයින්, පාසල් සංවර්ධන කමිටුවේ නිලධාරීන් සහ සාමාජිකයින් මෙන්ම පාස‌ල් සිසුවියන් රැසක් එක්ව සිටියහ.