නිමල් රාජපක්ෂ-
නුවරඑළිය කන්දෙඇල අධ්‍යාපනික වනෝද්‍යානයේ වන කෞතුකාගාරය පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ අතින් ඊයේ 09/26 විවෘත විය.
නුවරඑළිය කන්දෙඇල අධ්‍යාපනික වනෝද්‍යානයේ සිදු කල ක්ෂේත්‍ර චාරිකා වැඩසටහනකදී ගරු අමාත්‍ය තුමන් විසින් වන කෞතුකාගාරය විවෘත කල අතර වන සංරක්ෂක ජනරාල් එස්. සී පාලමකුඹුර මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක් විය.
කන්දේඇල අධ්‍යාපනික වනෝද‍්‍යානයේ කෞතුකාගාරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, කාර්යභාරය සහ වනාන්තර සංරක්ෂණයට අදාළ ඓතිහාසික ද්‍රව්‍ය ප්‍රදර්ශනය කරමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දැනුම හා අවබෝධය ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර ඇති කෞතුකාගාරයක් ලෙස සැලකෙයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය, කළමනාකරණය හා නිරසර භාවිතය අරමුණු කරගනිමින් වන ආරක්ෂණ කටයුතු, සංරක්ෂණය කිරීම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් වනාන්තර ආරක්ෂා කිරීම, වන වගා ස්ථාපනය හා කළමනාකරණය, වන ආවරණය වැඩි කිරීම හා පාරිසරික සංචාරක කටයුතු ප්‍රවර්ධනය ආදිය සිදු කරනු ලබයි.
ඉහත කාර්යයන් ඉටු කිරීමේදී වර්ෂ 139ක දීර්ඝ ඉතිහාසයක් සහිත වන සංරක්ෂණ දෙපාර්‌තමේන්තුව විසින් වසර ගණනාවක් පුරා භාවිතා කරන ලද විවිධ උපකරණ, සිතියම්, නිල ඇඳුම් හා ආයිත්තම්, පැරණි ලේඛන පහ අනෙකුත් ඓතිහාසික හා වටිනා ද්‍රව්‍ය රැසක් එදාමෙදා තුර භාවිතා කර ඇත.
මෙම කෞතුකාගාර මඟින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඓතිහාසික උරුමය සංරක්ෂණය කිරීම වෙන්ම, වන සංරක්ෂණයේ වැදගත්කම පිළිබදව වර්තමාන හා අනාගත පරපුර දැනුවත් කිරීම සඳහාද වැදගත් කාර්යභාර්යයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂිතයි.
නුවරඑළිය කන්දේඇළ අධ්‍යාපනික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලෝකාන්තය අඹේවල හා කන්දෙඇල ජලාශය අසල රමණිය පරිසරයක පිහිටීම හේතුවෙන් ආකර්ශණීය ස්ථානයක් බවට පත්ව ඇත.
මෙහි විශේෂත්වය වන්නේ දෙස් විදෙස් සංචාරකයින් වනාන්තර ආශ්‍රිත ස්ථාන නැරඹීම සඳහා දැඩි නැඹුරුතාවයක් දක්වන ස්ථානයක් බැවිනි.
මෙහිදී ඔවුනට කඳුකර ප්‍රදේශයකට ආවේනික සත්ත්ව හා ශාක ප්‍රජාව නැරඹීමට ද අවස්ථාව හිමිවෙයි.
තවද භූ විෂමතාවය අනුව මෙම ප්‍රදේශය තුල උස් කදු මුදුන්, තැනිතලා, දිය දහරා, තෙත් බිම් සහ වෙනත් සුන්දර ස්ථාන දැකගත හැකි අතර මිදුම් සහිත සිසිල් දේශගුණයක් මෙම ප්‍රදේශය තුල දක්නට ලැබේ.
පරිසරයට හානියක් නොවන ලෙස සංචාරකයින් හට තම ශරීර යෝග්‍යතාවය පවත්වා ගෙන යමින් නැවුම් වාතාශ්‍රය ආග්‍රහණය කරමින් පරිසර සුන්දරත්වය විඳගනිමින් වනාන්තර හරහා ගමන් කර වනාන්තරයේ අසිරිය නැරඹීමට හැකි වේ.
කදුකර වනාන්තර තුල තිබෙන ශාක විශේෂ, පෙද හා ශාක වර්ග, වැල් ශාක වර්ග, වන භෝග ශාක වර්ග, ප්‍රදේශයට අවේනික කුරුල්ලන්, සමනලුන්, බත්කුරන්, කුරුමිනියන්, මකුලුවන්, කටුස්සන් වැනි සතුන් ද වනාන්තරයේ නිතර ගැවසෙන දිවියා, ගෝනා, කදුකර කළු වදුරා, උනහපුලුවා, වැලිමුවා, වල් ඌරා වැනි සතුන්ගේ පා සටහන් නිරීක්ෂණය කල හැකි වේ.
නුවරඑළියේ සිට නුවරඑළිය පට්ටිපොල මාර්ගයේ කිලෝමීටර 12ක් පමණ ගමන් කර පසු හමුවන රමණිය කන්දෙ ඇල ජලාශය අසල අක්කර 30 ක පමණ භූමි ප්‍රමානයක් පුරා වනෝද්‍යානය විහිදී ඇත.
උඩරට දුම්රිය මාර්ගයෙන් පැමිණ අඹේවල දුම්රිය ස්ථානයෙන් බැස කිලෝමීටර් 07ක් පමණ නුවරඑළිය දෙසට ගමන් කිරීමෙන් ද වනෝද්‍යානයට පැමිණිය හැකිය.
ඒ අනුව කන්දෙඇල පාරිසරික අධ්‍යාපනික වනෝද්‍යානය වැඩි දියුණු කිරීමේ මෙම උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම මගින් වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම, රජයට ආදායම් මාර්ගයක් ලබා ගැනීම හා සංචාරකයන්ට වනාන්තර ආශ්‍රිත පරිසරයේ සුන්දරත්වයක් විඳ ගැනීමේ හැකියාව ද ලැබේ.
කන්දෙඇල පාරිසරික අධ්‍යාපනික වනෝද්‍යානයේ වන කෞතුකාගාරය ගරු පරිසර අමාත්‍යතුමන් විවෘත කිරීමේ සහ එය නැරබිමේ දර්ශන මෙන්ම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවට අදාල වීඩ්යෝ දර්ශන හා ජායාරෑප ඔබ වෙත යොමු කර ඇති අතර කන්දෙඇල පාරිසරික අධ්‍යාපනික වනෝද්‍යානය වැඩි දියුණු කිරීමේ මෙම උපාය මාර්ගික සැලසුමද මේ සමග යොමු කර ඇත
