නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මීගමුව කලපු ප්රදේශ ආශ්රිතව 2026 සැප්තැම්බර් මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනලද බීඩි කොළ කිලෝග්රෑම් අටසිය අනූඅටකට (898) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය පුත්තලම කලපු ප්රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී, එම කලපු ප්රදේශයේ සැකකටයුතු උර විස්සක (20) අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්රෑම් හත්සිය හතලිස් හයක (746) තොගයක්සහ බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය මඟින් මීගමුව කලපු ප්රදේශයෙහි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්රදේශයේ සැකකටයුතු උර හතරක (04) තිබූ බීඩි කොළ කිලෝ ග්රෑම් එකසිය පනස් දෙකකට (152) අධික තොගයක් වශයෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනලද බීඩි කොළ කිලෝග්රෑම් අටසිය අනූඅටකට (898) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි
තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත සහ කටුනායක රේගු නිවරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
