Spread the love

නිමල් රාජපක්ෂ-




අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබු උත්සවයට අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා …………….

අද අපි එක්වී සිටින්නේ තවත් එක් ජාත්‍යන්තර දිනයක් සැමරීමට පමණක් නොවෙයි. අපි අද කතා කරන්නේ මිනිසුන් අතර සන්නිවේදනය ගොඩනගන, සංස්කෘතීන් අතර පාලම් හදන, අවසානයේ රටක් එකට බැඳ තබන ඉතා වැදගත් වෘත්තියක් ගැනයි. ඒ භාෂා පරිවර්තනයයි. පරිවර්තකයා එක් භාෂාවක වචනයක් තවත් භාෂාවකට මාරු කරන පුද්ගලයෙකු ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. නමුත් පරිවර්තකයා කරන්නේ ඊට වඩා විශාල කාර්යයක් සිදු කරනවා. පරිවර්තකයින් වචනයක් පමණක් තවකෙකුට ගෙන යන්නේ නැහැ;

ඔවුන් අදහසක්, අත්දැකීමක්, සංස්කෘතියක් ගෙන යනවා. සමහර අවස්ථාවලදී, මිනිසෙකුගේ අයිතියක්, දුකක්, සතුටක් බලාපොරොත්තුවක් තවත් මිනිසෙකුට නිවැරදිව ඇසෙන්නට සහ දැනෙන්නට සලස්වනවා. අපේ රටේ මෑත ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දේශපාලනය විසින් මේ විවිධත්වය මිනිසුන් එකතු කිරීමට නොව, මිනිසුන් බෙදීමට භාවිත කළා.


ජාතිය, ආගම, භාෂාව කියන මේවා මිනිසුන්ගේ අනන්‍යතාවය වෙනුවට දේශපාලන බලය ලබාගැනීමේ මෙවලම් බවට පත් කළ අවස්ථා අපි දැක තිබෙනවා. තමන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා “අපි” සහ “ඔවුන්” කියන බෙදීම නිර්මාණය කළ දේශපාලනයක් අපි දැක තිබෙනවා.


නමුත් පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලංකාවේ ජනතාව ඉතා වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා. ඔවුන් දේශපාලන නායකයන් කිහිප දෙනෙකු පමණක් ප්‍රතික්ෂේප කළේ නැහැ; ජාතිය, ආගම සහ භාෂාව මත බෙදීම් ඇති කරමින් බලය තහවුරු කරගැනීමේ පැරණි දේශපාලන මතවාදයත් ප්‍රතික්ෂේප කළා. මේ ජනවරම අපි හොඳින් තේරුම් ගත යුතුයි. ජනතාව කියන්නේ, “මගේ අනන්‍යතාවය මට අවශ්‍යයි. මගේ ආගම මට වැදගත්. මගේ භාෂාව මට වැදගත්. නමුත් ඒ කිසිවක් නිසා තවත් මිනිසෙකු මගේ සතුරා විය යුතු නැහැ” කියන පණිවිඩයයි.
ඒ නිසා අපේ රටට අවශ්‍ය නව දේශපාලන සංස්කෘතියක්. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන, වෙනස් සංස්කෘතීන්ට ගරු කරන දේශපාලනයක්. අපේ අරමුණ මිනිසුන්ගේ වෙනස්කම් මකා දැමීම නෙවෙයි, වෙනස්කම් තිබියදීත් එකට ජීවත් විය හැකි රටක් ගොඩනැගීමයි. ඒ ගමනේදී භාෂාවට තිබෙන්නේ අතිශය වැදගත් කාර්යභාරයක්.