නිමල් රාජපක්ෂ-
විසිපස් වසරකට නොඅඩු නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා නිත්‍ය බල සේනාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත විශිෂ්ඨ සේවා විභූෂණය පිරිනැමීම, ඊයේ (2026 සැප්තැම්බර් 30) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක, අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී, නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් දහහතර දෙනෙකු වෙත විශිෂ්ඨ සේවා විභූෂණය පිරිනැමීම සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් එච්ආර්එෆ්එම් තිසේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා රියර් අද්මිරාල් පීජේබී මාරබේ, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් පිවී ෆර්ඩිනැන්ඩස් සහ ගිණිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජීඑස්ඩී වීරසූරිය වෙත විශිෂ්ඨ සේවා විභූෂණය පිරිනැමීම සිදුකෙරිණි.
එමෙන්ම, රියර් අද්මිරාල් එම්ඩබ්වී මාරපන (විශ්‍රාමික), රියර් අද්මිරාල් ආර්ඒසීඑන් රත්නායක (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඒඒඒආර් අබේසිංහ (විශ්‍රාමික), රියර් අද්මිරාල් එච්එච්එම්පී ද සිල්වා (විශ්‍රාමික), රියර් අද්මිරාල් එච්එස් බාලසූරිය (විශ්‍රාමික), රියර් අද්මිරාල් ආර්ආර් කළුබෝවිල (විශ්‍රාමික), රියර් අද්මිරාල් සීඒපී ඇන්තනී (විශ්‍රාමික), රියර් අද්මිරාල් සීඩී රාජපක්‍ෂ (විශ්‍රාමික) සහ රියර් අද්මිරාල් පීකේ වර්ණකුලසූරිය (විශ්‍රාමික) යන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් වෙත විශිෂ්ඨ සේවා විභූෂණය පිරිනැමීම සිදුකෙරිණි.
තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසි අට (28) දෙනෙකු වෙත සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පහලොස් (15) දෙනෙකු වෙත එහිදී විශිෂ්ඨ සේවා විභූෂණය පිරිනැමීම ගරු ජනාධිපති තුමා විසින් සිදුකෙරිණි.
