නිමල් රාජපක්ෂ-
රටේ තරුණ පරපුර දැනුමෙන්, කුසලතාවලින් සහ නව අවස්ථාවලින් සන්නද්ධ කිරීම තුළින් අනාගත ජාතික සංවර්ධනයේ පදනම ශක්තිමත් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපන මෙන්ම වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍ර සක්‍රීයව බලගැන්වීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අද (ඔක්තෝබර් 03) පැවැති ජාත්‍යන්තර වෘත්තීය සහ අධ්‍යාපන ප්‍රදර්ශනයේ (iCEE 2026) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
ස්වාධීන රූපවාහිනී සේවය (ITN), ITN MMC කැම්පස් සහ JJL ඉන්ටර්නැෂනල් ආයතනය එක්ව සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය මගින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ චීනය යන රටවල ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 10ක් එකාබද්ධව කටයුතු කිරීමට අවස්ථාව සළසා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මෙන්ම වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනයටද එක හා සමාන වටිනාකමක් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන්න රජය කටයුතු කරමින් යනවා. කිසිදු සිසුවෙකු සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් පරිබාහිර වූ පමණින් අතහැර දැමිය නොහැකියි.
කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීයකරණය හමුවේ ගෝලීය රැකියා වෙළඳපොළ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඊට සරිළන පරිදි අපි තාරුණ්‍ය පෙළ ගැස්විය යුතුයි. එහිදී තීරණාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය, තාක්ෂණික සාක්ෂරතාව, නායකත්වය සහ අඛණ්ඩව යාවත්කාලීන වන දැනුමත් (Lifelong learning) අනාගත තරුණ පරපුරට අත්‍යවශ්‍යයි. රජය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙනවා.
ඒ වෙනුවෙන් උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දක්වන සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීම සඳහා 2025 සිට 2033 දක්වා කාලය වෙනුවෙන් රුපියල් මිලියන 4,000ක මුදලක් වෙන් කළා. එයින්, රුපියල් මිලියන 600 ක් මෙම වසර සඳහා වෙන් කර තිබෙනවා.
ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් ලබාදෙන මහපොළ මාසික දීමනාව සිසුන් 63,000 කට ආසන්න සංඛ්‍යාවකට සහ ශිෂ්‍යාධාර දීමනාව සිසුන් 29,000 කට ආසන්න සංඛ්‍යාවකට වැඩි කළා. . මීට අමතරව, පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර යටතේ සිසුන් 5,605 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා . 2025 වසර සඳහා සිසුන් 7,000 ක් ඉලක්ක කර මේ වැඩසටහන ක්‍රියිත්මකයි.
අපි නව අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපලිවෙලක් සකස් කර තිබෙනවා. එහිදීි විදෙශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපේ රටේ අධ්‍යාපනය හදාරන්න අවස්ථිව අපි නිර්මාණය කරනවා.
රටක සැබෑ ශක්තිය රැඳී පවතින්නේ භෞතික සම්පත් මත නොවෙයි, දැනුමෙන්, කුසලතාවෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් සක්‍රීය මානව සම්පත මතයි. අනාගත අභියෝගවලට මුහුණදීමට වගේම අනාගත අවස්ථා තමා විසින්ම නිර්මාණය කරගැනීමටත් සමත් තරුණ පරපුරක් බිහිකිරීම රජයේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය ඇතුළු රටවල විශ්වවිද්‍යාල නියෝජිතයින්, දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් සහභාගී වූහ.
