නිමල් රාජපක්ෂ
මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනයේ (AETI) 32 වන වාර්ෂික සහතික පත්‍ර ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් 05 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී මෝටර් රථ ක්ෂේත්රයේ පුහුණුව සාර්ථකව නිම කළ තරුණ කාර්මික ශිල්පීන් 464 දෙනෙකු වෙත ප්‍රවීණතා සහතික ප්රදානය කෙරිණි.
මෙහිදී මෝටර් රථ යාන්ත්‍රික කාර්මික ශිල්පීන්, මෝටර් රථ විදුලි කාර්මිකයන්, මෝටර් රථ පින්තාරුකරුවන්, මෝටර් රථ ටින්කර්වරුන්, යන්ත්‍රෝපකරණ ශිල්පීන් සහ මෝටර් රථ වායු සමීකරණ කාර්මිකයන් ලෙස පුහුණුව ලැබූ පිරිස වෙත සහතික පිරිනැමීම සිදු විය.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ ක්‍රියාත්මක වන AETI, දේශීය මෙන්ම ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින මෝටර් රථ ක්ෂේත්රයට අවශ්‍ය දැනුම, කුසලතා හා ප්‍රායෝගික පුහුණුව සහිත දක්ෂ ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
රටේ තරුණ පරපුර සඳහා රැකියා අවස්ථා සහ නව වෘත්තීය මාර්ග විවෘත කිරීමේදී මෙවැනි වෘත්තීය පුහුණු ආයතනවල දායකත්වය ඉතා වැදගත් වන අතර, පුහුණුව ලැබූ තරුණයින්ට දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් සහිත වෘත්තීය ක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වීමට මෙවැනි වැඩසටහන් මගින් අවස්ථාව සැලසේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායක මහත්මිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර් මහතා, උප සභාපති පන්ඩුල මැදවත්ත මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත Honzu Shigeo මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ NAITA ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
