නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය:”පසුගිය දෙවසර තුළ සියලු අපනයන ක්ෂේත්‍ර ලබාගත් වර්ධනය පදනම් කරගනිමින්, අපගේම අතීත වාර්තා අභිබවා යන නව ඉලක්ක කරා යායුතුයි. අපනයනයට බාධා වන යල්පැනගිය නීති රෙගුලාසි සංශෝධනය කරමින්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සාමූහික ශක්තියෙන් හා ශිල්පීය දක්ෂතාවයෙන් යුතුව මෙම අපනයන ඉලක්ක සපුරා ගැනීමට සැවොම අත්වැල් බැඳගත යුතුයි”
මෙහිදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026-2030 පිළිබඳව උපදේශක කමිටු සාමාජිකයන් විස්තරාත්මකව දැනුවත් කරන ලද අතර, ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ (Sri Lanka Expo 2027) ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව ද විශේෂ දැනුවත් කිරීමක් සිදු කළේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා, අතිරේක අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහත්මිය ඇතුළු නිලධාරීන් සහ උපදේශක කමිටු සාමාජිකයන් රාශියක් ද මෙම අවස්ථාවට එක්වූහ.
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 10(1) වගන්තිය යටතේ, නිෂ්පාදන හා සේවා සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහාත්, අපනයන වෙළඳාමේ ක්‍රියාකාරී අංශ සඳහාත් උපදේශක කමිටු පිහිටුවීමට අපනයන සංවර්ධන මණ්ඩලයට බලය ඇත. ඒ අනුව, 2026 සිට 2029 දක්වා වසර තුනක කාලයක් සඳහා උපදේශක කමිටුවලට නව සාමාජිකයන් පත් කරන ලදී.
මෙම සාමාජිකයන් තෝරාගනු ලැබුවේ අපනයනකරුවන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් (SMEs), පෞද්ගලික අංශයේ සංගම්, අදාළ රජයේ ආයතන සහ අදාළ අංශවල පළපුරුද්ද ඇති විශේෂඥයන් නියෝජනය වන පරිදි වන අතර, එම අංශවලට ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය පදනම් කරගෙනය.
නව උපදේශක කමිටු විසිහතර (24) පහත සඳහන් අංශ සඳහා පිහිටුවන ලදී. වෙළඳ සැපයුම් හා කේන්ද්‍ර මෙහෙයුම්; වෙළඳ පහසුකම් සැලසීම; වෙළඳ මූල්‍ය, ව්‍යාපාර හා ආයෝජන පරිසර ප්‍රතිසංස්කරණ; වෙළඳ ප්‍රවර්ධනය හා වෙළඳපොළ සබඳතා; ගුණාත්ම කළමනාකරණය, තත්ත්ව කළමනාකරණය, වෙළඳ ප්රමිතීන් සහ පාරිසරික, සමාජීය හා පාලන කරුණු (ESG); කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්වය හා නවෝත්පාදනය යන අංශ සඳහා කමිටු හයක් පිහිටුවා ඇත.
කමිටු අටක් මගින් ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රමුඛතා අංශ ආවරණය කෙරේ. ඒවා නම්: මෝටර් රථ අමතර කොටස් සහ ඉංජිනේරු නිෂ්පාදන, ඛනිජ ආශ්රිත නිෂ්පාදන, රබර් ආශ්රිත කර්මාන්ත, සාගර ආශ්රිත කර්මාන්ත (බෝට්ටු සහ නැව් නිෂ්පාදනය ඇතුළුව), කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, සැකසූ ආහාර සහ පාන වර්ගයි.
ඉතිරි කමිටු දහය වෙනත් ප්‍රධාන අංශ නියෝජනය කරයි. ඒවා නම්: ඇඟලුම්; ආයුර්වේද හා ඖෂධීය පැළෑටි නිෂ්පාදන සහ රූපලාවණ්‍ය නිෂ්පාදන; පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන; ඉදිකිරීම් හා විදුලි බලශක්ති සේවා; මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ; කාබනික නිෂ්පාදන; විසිතුරු මත්ස්‍ය; ඖෂධ නිෂ්පාදන; මුහුදු ආහාර හා ජලජීවී වගාව; කුඩා හා මධ්‍යම පරිමාණ අපනයන සංවර්ධනයයි.
