Spread the love

නිමල් රාජපක්ෂ

                 

වත්මන් රජයේ ආර්ථික සහ සමාජයීය ගමන්මඟ වන්නේ ග්‍රාමීය ජනතාව නගරවලට කැඳවීම නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීම බවත්, එහිදී ගම සහ නගරය අතර ඉතා දියුණු මාර්ග පද්ධතියක්, හොඳ සන්නිවේදන පද්ධතියක්, කාර්යක්ෂම සහ ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයට ඉතා ගෞරව කරන ආණ්ඩුවක් මෙන්ම රාජ්‍ය සේවය යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතු බව අපේක්ෂා කරන ආණ්ඩුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතා අසීරුතම තත්ත්වයක් හමුවේ වුවද මූලික වැටුප් වැඩි කිරීමට සහ දීමනා වැඩිකිරීමට කටයුතු කළේ එබැවින් බවද පැවසීය.

නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කර තිබීම විශේෂත්වයකි.

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුනු ගැටලු රැසකට විසඳුම් ලබා දෙමින් ග්‍රාම නිලධාරී තනතුර සඳහා ඔවුන්ටම අනන්‍ය වූ සේවාවක් යටතේ, ඔවුන්ට අනන්‍ය වූ වැටුප් ව්‍යුහයක් සහිතව ග්‍රාම නිලධාරී සේවය යළි ස්ථාපිත කිරීමට වත්මන් රජය යටතේ කටයුතු කෙරිණි.එහිදී ඒ වන විට ලබමින් සිටි වැටුපට වඩා වැටුප් පියවර කිහිපයක් ඉදිරියෙන් තැබීමට සහ විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් දීමනා ප්‍රමාණවත් ලෙස වැඩි කිරීමටද කටයුතු කර ඇත.

දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත් 28දෙනා සඳහා සංකේතාත්මකව පත්විම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

අද ඔබ ප්‍රවිෂ්ට වන්නේ ලංකාවේ ඉතාමත් වැදගත් වෘත්තියකටයි. අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතයත් සමඟ ඉතාමත් සමීපව වැඩ කරන රාජ්‍ය නිලධාරියා කවුද කියලා ඇහුවොත්, ඒ අපේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මියයි. ගමක සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත්, රාජ්‍යයත් අතර තිබෙන සබඳතාවය සහ රජය විසින් ලබා දෙන සේවාවන් සියල්ල කේන්ද්‍රගත වන්නේ ග්‍රාම නිලධාරීන් මගිනුයි.  

ඔබ අපිට වැදගත් වන්නේ, හුදු ගම භාරව වැඩ කරන නිලධාරියා ලෙස පමණක් නොවෙයි. ඔබ අපට වැදගත් වන්නේ අපි සකස් කර තිබෙන ආර්ථික සහ සමාජයීය දැක්ම නිසයි. ලෝකයේ සෑම රටක්ම නගර කේන්ද්‍ර කරගත් අධික ජනගහනය නිසා ඇතිවන අර්බුදයට අද මුහුණ දී තිබෙනවා. එය අද ලෝකයේ දියුණුයැයි සම්මත රටවල් මෙන්ම නොදියුණු රටවල්ද මුහුණ දී තිබෙන ගැටලුවක්. ග්‍රාමීය මට්ටමින් ආර්ථික අවස්ථා සහ සේවාවන් ඉටු කිරීමට අසමත් වූ විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගම් අතහැර නගරවලට කේන්ද්‍රගත වුණා. “වෛරයේ මිදි ඵල” පරිවර්තනයේ ඉතා හොඳින් පැහැදිලි කරනවා ඈත පළාත්වල ජීවත් වන ජනතාව තමන්ගේ ආර්ථික අවස්ථා අහිමි වන විට මග දිග මිය යමින් විශාල දුෂ්කරතාවලට මුහුණදෙමින් නගරවලට කේන්ද්‍රගත වූ අන්දම. එය අද ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන ගැටලුවක්.

හැබැයි එම ගැටලුවේදී අපි වාසනාවන්ත වී තිබෙනවා.  අපේ රටේ තාමත් බහුතරයක් ජනතාව ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලයි. එසේනම් අපේ ආර්ථික සහ සමාජ ගමන්මඟ වන්නේ කුමක්ද, අපේ ගමන්මඟ කිසිසේත්ම ග්‍රාමීයව ජිවත්වන ජනතාව නගරවලට කැඳවීම නොවෙයි. එම උපායමාර්ගය අසාර්ථක වී ඇති බව දැන් පෙන්නුම් කෙරෙනවා. එසේනම් අපේ සංවර්ධන මාවත වන්නේ ගමේ ජනතාව නගරයට කැඳවීම නොව, ගමේ සිටින ජනතාවට ගම තුළදීම ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීමයි.