මාලන් විතාන-
දීර්ඝ කාලයක් පුරා අතරමඟ ඇණහිට තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය බදුලු ඔය අමුණ උසස් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පසුගියදා එක් විය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කන්දකැටිය කොට්ඨාසය යටතේ රුපියල් මිලියන 230ක පමණ ප්‍රතිපාදන යොදවා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් අමුණ සහ ඊට ප්‍රවේශ මාර්ගය මීටර් 2.1කින් උසස් කිරීම සිදු කෙරේ. මෙමඟින් බදුලු ඔය ආශ්රිත ජල ධාරිතාව අක්කර අඩි 45කින් ඉහළ නැංවීමට අපේක්ෂිතය.
ඒ අනුව, මීට පෙර යල කන්නයේදී ජල හිඟය හේතුවෙන් වගා කටයුතුවලට බාධා එල්ල වූ ගොවි ජනතාවට ඉදිරියේදී කන්න තුනක් අඛණ්ඩව වී ඇතුළු වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, අතීතයේ අවස්ථා අටකදී දේශපාලනඥයන් විසින් මුල්ගල් තබා ආරම්භ කළද අතරමඟදී අතහැර දැමුණු මෙම ව්‍යාපෘතිය, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබා නොගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්ගේ සෘජු ශ්‍රම දායකත්වයෙන් සාර්ථක අවසන් අදියරට ගෙන ඒම වැදගත් ජයග්‍රහණයක් බවයි.
2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද ඉදිකිරීම් කටයුතු අතරමඟදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් යම් ප්‍රමාදයකට ලක් විය. කෙසේ වෙතත්, 2026 පෙබරවාරි මාසයේදී ප්‍රවේශ මාර්ගය යළි සකස් කිරීමත් සමඟ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, මාස හයක පමණ කාලයක් තුළ අමුණේ පිටවාන, පැති බැමි සහ සොරොව්ව ආශ්රිත ප්‍රධාන ඉදිකිරීම් අවසන් අදියරට ගෙන ඒමට හැකි වී ඇත. සමස්ත ව්‍යාපෘතිය 2026 දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර තිබේ.
මෙම නිරීක්ෂණ අවස්ථාවට කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක මහතා, කන්දකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඉසුරි නදීෂා චතුරාණි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
