මාලන් විතාන-
ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර අද (10) දින රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ අනුව, සිසු සිසුවියන් 1,000කට අධික පිරිසකගේ ඇස් පරීක්ෂා කිරීම, ඇස් කණ්ණාඩි රාමු තෝරාදීම සහ ශ්‍රවණ පරීක්ෂණ සිදු කිරීම මෙහිදී සිදු කෙරිණි. පරීක්ෂණවලින් අනතුරුව අවශ්‍ය සිසුන් සඳහා මාසයක් ඇතුළත නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා Stroud Rotary Club සහ Wish පදනම දායකත්වය සපයයි.
මෙහි පළමු අදියර පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේදී පැවති අතර, එහිදී සිසු සිසුවියෝ 600ක් ප්රතිලාභ ලැබූහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ, ජනාධිපති අරමුදලේ සභාපති ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ඉදිරියේදී මෙම වැඩසටහන මෙරට සියලු විශ්වවිද්‍යාලවල පැවැත්වීමට කටයුතු කරන බවයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා යහපත් ශාරීරික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි. විශේෂයෙන්ම, නිරෝගී දෑස් යුගලක වටිනාකම හඳුනාගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන, සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කර ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට දායක වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවද ඒ මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී මංජුලා යාපා, ශිෂ්‍ය කටයුතු අංශයේ සහකාර ලේඛකාධිකාරී තනූජා දමයන්ති යන මහත්මින් සහ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, Wish පදනමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ
