Spread the love

නිමල් රාජපක්ෂ-

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ වැඩසටහනක් යටතේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 11 වන දින කොළඹ ඩී සේරම් හවුස්හිදී මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව තරුණ තරුණියන් සමඟ පැවති සංවාදයකට සහභාගී වූවාය.

UNICEF ශ්‍රී ලංකා කාර්යාලය සහ MHPSS.net ආයතනය, තරුණ උපදේශක ජාලය (Youth Advisory Network – YAN) සමඟ එක්ව සංවිධානය කළ මෙම සාකච්ඡාව සඳහා වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණ තරුණියෝ සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මුහුණ දෙන මානසික සෞඛ්‍ය අභියෝග සම්බන්ධයෙන් සිය අත්දැකීම්, අදහස් සහ ගැටලු බෙදාහදා ගැනීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව සැලසිණි.

මෙම සැසියේදී අග්‍රාමාත්‍යතුමිය තරුණ තරුණියන් සමඟ විවෘත සංවාදයක නිරත වෙමින්, ඔවුන්ගේ මානසික යහපැවැත්මට බලපාන පීඩනකාරී තත්ත්වයන්, සහාය ලබාගැනීමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ මානසික සෞඛ්‍යය පිළිබඳව විවෘතව සාකච්ඡා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව ඔවුන්ගේ අදහස්වලට සවන් දුන්නාය.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් තරුණ උපදේශක ජාලය විසින් සිංහල සහ දෙමළ භාෂාවවෙන් ලබා දෙන “On My Mind” පොඩ්කාස්ට් මාලාව පිළිබඳව ද සහභාගී වූවෝ අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළහ. මානසික සෞඛ්‍යය පිළිබඳ සංවාද ඇති කිරීම සහ මානසික සෞඛ්‍ය අභියෝග වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට හා ඒවාට මුහුණ දීමට තරුණ තරුණියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි තොරතුරු හා සම්පත් සැපයීම මෙම වැඩසටහනේ අරමුණයි.

මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමේදී තරුණ ප්‍රජාවට ඉටු කළ හැකි කාර්යභාරය මෙන්ම පාසල්, පවුල් සහ ප්‍රජාවන් තුළ ඒ සඳහා ලබා දෙන සහාය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිත එමා බ්‍රිග්හැම් මහත්මිය, MHPSS.net ආයතනයේ නියෝජිතයන් සහ තරුණ උපදේශක ජාලයේ සාමාජිකයෝ ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.