නිමල් රාජපක්ෂ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට (Faculty of Medicine, Uva Wellassa University) අධ්‍යයන කටයුතූ සඳහා එක් වූ 37 දෙනෙකුගෙන් යුත් 4 වන වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම (4th Batch) පිළිගැනීමේ උත්සවය ඊයේ (12) පෙරවරුවේ එම විශ්වවිද්‍යාලයීය තාක්ෂණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිතයා වශයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ද සහභාගී විය.
මෙහිදී නවක වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශිෂ්‍ය අත්පොත් (Student Handbooks) ලබාදීම සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ශිෂ්‍ය ප්‍රතිඥාව ලබාදීම ද මෙහිදී සිදු විය.
වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමේ උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ අනාගත උන්නතිය වෙනුවෙන් වෛද්‍ය සිසුන් සතු වගකීම සහ වෘත්තීය කාර්යභාරය පිළිබඳව වටිනා අදහස් රැසක් ඉදිරිපත් කළ අතර, වර්තමානයේ සියළු සිසුන් තාක්ෂණික දැනුමින් යුක්ත බවත්, උසස් අධ්‍යාපනයක් සඳහා ඉතා සුදුසු පරිසරයක් ඌව විශ්වවිද්‍යාලය සතු වන බව ද පැවසීය.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත්, බදුල්ල ශික්ෂණ රෝහල් (Teaching Hospital Badulla) පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කෙරෙන මහාචාර්ය ඒකකය (Professorial Unit) ඉදිකිරීම් කඩිනමින් අවසන් කර එහි සේවා දියත් කිරීමට හැකිවනු ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.
මෙහිදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත්, බදුල්ල ශික්ෂණ රෝහල් (Teaching Hospital Badulla) පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කෙරෙන මහාචාර්ය ඒකකයේ සහ (Professorial Unit), හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ (Accident and Emergency Care Unit), වත්මන් ඉදිකිරීම් කටයුතු ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය (Uva Wellassa University of Sri Lanka) යනු බදුල්ල ප්‍රදේශයේ පිහිටි, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුවිශේෂී අනන්‍යතාවක් හිමි රාජ්‍ය විශ්වවිද්‍යාලයකි.
2005 වසරේදී ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය, සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව මෙරට ආර්ථික සංවර්ධනයට සෘජුවම දායක විය හැකි ප්‍රායෝගික හා නව්‍යකරණ උපාධි පාඨමාලා රැසක් පවත්වාගෙන යනු ලබයි. මෑතකදී ආරම්භ කරන ලද වෛද්‍ය පීඨය ඇතුළුව, විද්‍යා හා තාක්ෂණ, කළමනාකරණ, සහ සත්ව විද්‍යා වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වෘත්තිකයන් රැසක් බිහිකිරීමට මෙම විශ්වවිද්‍යාලය කැපවී සිටියි.
මෙම අවස්ථාවන් සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුළු පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, වෛද්‍ය සිසුන් සහ නවක වෛද්‍ය සිසුන්, බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර, රෝහලේ විශේෂඥ වෛද්‍ය,වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.
