Spread the love

නිමල් රාජපක්ෂ

ඇමරිකා එක්සත් ජනපදයේ The Church of Jesus Christ of Latter-day Saints (Latter-day Saint Charities) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක (Oncology) ඖෂධ තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (14) පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන රෝහල් සහ මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සුෂුම්නාව ආශ්‍රිත ආබාධ සහිත (Spinal Cord Injured) රෝගීන් වෙනුවෙන් විශේෂිත රෝද පුටු 600ක ප්‍රදානයක් වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ යුටා (Utah) හි පිහිටි ‘The Church of Jesus Christ of Latter-day Saints’ ආයතනය අතර වු නිල අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් මෙම ඖෂධ පරිත්‍යාග කිරීම Latter-Day Saint Charities (LDSC) ආයතනය වෙනුවෙන් ආසියානු කලාපීය අධ්‍යක්ෂ (Asia Area Director) Lui Wing Chung Mickey මහතා සහ ආසියානු කලාපීය කළමණාකාරිනී, (Asia Area Manager) Apapohn Pinsakol Saengsin මහත්මිය විසින් සිදු කරන ලද, අතර, සුෂුම්නාව ආශ්‍රිත ආබාධ සහිත (Spinal Cord Injured) රෝගීන් වෙනුවෙන් විශේෂිත රෝද පුටු 600ක ප්‍රදානයක් වෙනුවෙන් වූ නිල අවබෝධතා ගිවිසුමට ද මෙහිදී අත්සන් තැබුණි.

ඉහත ඖෂධ පරිත්‍යාගය යටතේ Oxaliplatin (for injection) USP 100mg, Abiraterone Tablets USP 250mg සහ Methotrexate (for injection) USP 500mg/5ml ඇතුළු අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ග රැසක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත.

මෙම සුවිශේෂී ඖෂධ පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උපහාරය පුද කරමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා Latter-Day Saint Charities (LDSC) දායක ආයතනය වෙත විශේෂ කෘතඥතා සහතිකයක් (In Grateful Appreciation) ද පිරිනැමීමට කටයුතු යොදා තිබූ අතර, එම කෘතඥතා සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් Latter-Day Saint Charities (LDSC) ආයතනයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ (Asia Area Director) Lui Wing Chung Mickey මහතා වෙත පිළිගන්වන ලදි.

විශේෂිත රෝද පුටු 600ක ප්‍රදානය ‘The Church of Jesus Christ of Latter-day Saints’ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය සහන ව්‍යාපෘතියේ දෙවන අදියර වන අතර, මෙයට පෙර 2023 වසරේදී රෝද පුටු 570ක් මෙරටට පරිත්‍යාග කර ඇත.