Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රදානය කිරීම ඊයේ (22) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මාලදිවයිනේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍ය ගරු ගීලා අලි (Hon. Geela Ali) මහත්මිය කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුවූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන සහ බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව මෙම ඖෂධ ප්‍රදානය සඳහා දායකත්වය ලබා දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා, මෙම ඖෂධ ප්‍රදානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය විශේෂ ස්තුතිය පළ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කළ මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා ද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) එස්. පී. එල්. රණවීර, එම අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රභාත් වරාවැවත්ත, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ආචාර්ය අජිත් සම්මුගනාදන්, බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතපත්තු සහ එහි හිටපු සභාපති නලින් කන්නංගර යන මහත්වරුන් ඇතුළු මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.