දේවින්ද පිණිදිය
සෑම දරුවෙකුටම අධ්යාපනයේ උපරිම ප්රතිලාභ අත්කරගත හැකි අධ්යාපන පද්ධතියක් ගොඩනැඟීම රජයේ ප්රමුඛ අරමුණක් බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.ඒ වෙනුවෙන් පවතින ආර්ථික බාධක හා අභියෝග හමුවේ වුවද, අධ්යාපනය සඳහා සැලකිය යුතු මූල්ය ප්රතිපාදන වෙන් කරමින් එම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ද ඇය සඳහන් කළාය.
2026.10.24 දින පොළොන්නරුව විජිත ප්රාථමික විද්යාලයේ ඉදි කළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව පැවසුවාය.
රජයේ රුපියල් මිලියන 55ක පමණ ප්රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල ප්රාථමික පන්ති කාමර අටකින් සමන්විත වේ. ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව, සිසුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අග්රාමාත්යවරිය නව පන්ති කාමරවල තත්ත්වය ද නිරීක්ෂණය කළාය.
එමෙන්ම, පාසලේ සිසුන්ගේ ඉගෙනුම් කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට බලපාන අධ්යයන සහ සුබසාධන ගැටලු පිළිබඳව ද අග්රාමාත්යවරියගේ අවධානය යොමු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය පවසා සිටියේ අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේදී විෂයමාලා වෙනස් කිරීම පමණක් ප්රමාණවත් නොවන බවත් ඒ සඳහා අවශ්ය යටිතල පහසුකම්, ගුරු පුහුණුව සහ සුදුසු පාසල් පරිසරය ද ගොඩනැඟිය යුතු බවත් ය. ඒ අනුව, පාසල් පද්ධතියේ සූදානම සලකා බලමින් පියවරෙන් පියවර නව විෂයමාලා ක්රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අග්රාමාත්යවරිය සඳහන් කළාය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ දරුවන්ට නිදහසේ හා සතුටින් ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි, ගුරුවරුන්ට ඵලදායී ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව ද තහවුරු වන ගුණාත්මක පාසල් පරිසරයක් ගොඩනැඟීම රජයේ අරමුණ බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
විශේෂයෙන්ම ප්රාථමික අධ්යාපනයේදී පන්තිකාමර තුළ ඇති ඉඩකඩ පහසුකම් , භාණ්ඩ හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවධානය යොමු කරන බව ද අග්රාමාත්යවරිය සඳහන් කළාය.
රටේ ආර්ථික ස්ථාවරත්වය මත අධ්යාපනය සහ සෞඛ්යය වැනි ක්ෂේත්ර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බවත්, අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේ දී ඉදිරි වසර සඳහා මෙවරට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
අධ්යාපන පද්ධතියේ ආයතනික ගැටලු, යටිතල පහසුකම් සහ මානව සම්පත් හිඟයන්ට විසඳුම් ලබා දෙමින් සමස්ත පද්ධතියේම පරිවර්තනයක් ඇති කිරීම රජයේ අරමුණ බව ද පෙන්වා දුන් අග්රාමාත්යවරිය, දැනුම, නිපුණතා සහ යහපත් වටිනාකම් සහිත පුරවැසියන් බිහි කිරීම අධ්යාපන ක්රමයේ ප්රධාන වගකීමක් බව ද අවධාරණය කළාය.
එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ගුරුවරුන්ගේ කැපවීම මෙන්ම දෙමාපියන්ගේ සහ ප්රජාවගේ සහයෝගය ද අත්යවශ්ය බව සඳහන් කළ අග්රාමාත්යවරිය, ගමේ පාසල ආරක්ෂා කරමින් දරුවන්ට ගුණාත්මක අධ්යාපනයක් ලබාදීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව ද පැවසුවාය.
