Spread the love

නිමල් රාජපක්ෂ-


සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දෙමව්පියන් සහ වැඩිහිටියන් විසින් දරුවන් විවිධ අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීමේ ඉහළ යාමක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එම තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.


අනතුරුදායක ස්ථාන සහ අවදානම් සහිත ප්‍රදේශවල සංචාරය කරවීම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට වඩාත් සුදුසු තේමාවන් හෝ අන්තරගතයන් සඳහා සඳහා දරුවන් යොමු කිරීම මෙන්ම දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගතයන් සඳහා යොදාගැනීම වැනි ක්‍රියාකාරකම් රැසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බහුලව වාර්තා වේ. තමන්ගේම දරුවා මෙලෙස අවදානමේ හෙළමින් මුදල් හෝ ජනප්‍රියත්වය සෙවීම තුළ දෙමව්පියන් ලෙස පෙනී සිටීමට ඇති සුදුසුකම පවා ප්‍රශ්නගත වන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.


දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළීමට දෙමව්පියන්ට පවා අයිතියක් නොමැති අතර, යම් දරුවෙකුට ජනප්‍රියත්වය අවශ්‍යද නැද්ද යන්න තීරණය කළ යුත්තේ දෙමව්පියන් නොවන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරයි. එය එම දරුවා වැඩිහිටියෙකු බවට පත්ව තීරණ ගැනීමට තරම් මනසින් සහ වයසින් මුහුකුරා ගිය පසු ගතයුතු පෞද්ගලික තීරණයක් බව ද ඇය සඳහන් කළාය.


එලෙස දෙමව්පියන්ගේ වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දැඩි ලෙස අවදානමට ලක්වන දරුවන් “අනාරක්ෂිත දරුවන්” ලෙස සැලකීමට සිදුවන බවත්, ඔවුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී එම දරුවන් ආරක්ෂිත භාරකාරත්වයන්ට පත්කිරීමට පවා කටයුතු කිරීමට සිදුවිය හැකි බවත් අමාත්‍යවරිය මෙහිදී තදින්ම අවධාරණය කළාය.


මේ අතර, ළමා හිතකාමී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් විශේෂඥ මණ්ඩලයක් මඟින් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) එක්ව පියවර ගෙන තිබේ. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසාන අදියරේ පවතින අතර, ඉදිරියේදී එය බලාත්මක කිරීමට නියමිතය.


සමාජ මාධ්‍ය තුළ දරුවන් වාණිජමය හෝ කීර්තිනාම අපේක්ෂාවන් වෙනුවෙන් යොදාගැනීම (Kidfluencing) වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් ද මේ වන විට දැඩි පියවර ගනිමින් සිටී. ප්‍රංශය සහ ඇමරිකාවේ කැලිෆෝනියා වැනි රාජ්‍යයන් මඟින් සමාජ මාධ්‍ය හරහා දරුවන් උපයන ආදායම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත භාරකාර ගිණුම්වල තැන්පත් කිරීම අනිවාර්ය කර ඇති අතර, දරුවන් යොදාගත හැකි කාලසීමාවන් ද නීතියෙන් සීමා කර ඇත. ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ආයතන ද බාලවයස්කරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දැඩි ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් සිටින අතර, ශ්‍රී ලංකාව ද මෙම නව මාර්ගෝපදේශ හරහා ඒ හා සමාන ආරක්ෂිත රාමුවක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවද පැවසුවාය.