Spread the love

නිමල් රාජපක්ෂ-

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලේ පිළිකා මර්දන ඒකකය (Oncology Unit) මඟින් සංවිධානය කළ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් (Breast Cancer Awareness Walk) 2026 අද (04) මොනරාගල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා පතිරගේ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පැවැති මෙම ජනතාව දැනුවත් කිරීමේ පාගමන මොනරාගල මහානාම ජාතික පාසල අසලින් ආරම්භව නගර සභා ක්‍රිඩාංගනය දක්වා ගමන් ගන්නා ලදි.

“මුල් අවධියේදීම හඳුනාගැනීම ජීවිත සුරකියි” යන්න තේමා කරගනිමින් පැවැති මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වූයේ පියයුරු පිළිකා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙන්ම මුල් අවධියේදීම හඳුනාගැනීමේ වැදගත්කම, නිතිපතා සිදුකරන පරීක්ෂණ සහ කඩිනම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම පිළිබඳව සමාජය සවිබල ගැන්වීමයි.

එමෙන්ම, කාන්තාවන් නිසි සෞඛ්‍ය සේවාවන් වෙත යොමු කිරීම සහ පියයුරු පිළිකා වැළැක්වීමේ හා පාලනය කිරීමේ ක්‍රියාවලීන්ට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

මොනරාගල රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ටිරෝමි රූපසිංහ මහත්මිය මෙහිදී පැවසුවෙි මොනරාගල දිස්ත්‍රික් රෝහලේ විශේෂ පිළිකා ඒකකය මගින් ඕනෑම පිළිකා වර්ගයකට ප්‍රතිකාර සේවා සිදුකරන ලබන බවයි.

රෝහලේ 2025 වසරේ දත්ත අනුව සාමාන්‍යයෙන් මසකට නව රෝගීන් 25ක් පමණ සායන සදහා ලියාපදිංචිව ඇති බවත්, ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස වැඩිම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වුවද, මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන වැඩිම පිළිකා වර්ගය වන්නේ තයිරොයිඩ් ආශ්‍රිත පිළිකාව බව ද පැවසීය.

මෙම අවස්ථාවට ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර, මොනරාගල මහානාම විදුහලේ විදුහල්පති
ප්‍රභාත් ගමිලත්, මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය, රෝහල් සහ සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් නිලධාරීන්,
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.