නිමල් රාජපක්ෂ-
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වසරවල දරුවන් පාසල් පැමිණීම අනිවාර්ය බවත්, අනිවාර්යයෙන් වසර 13ක් දරුවන් අධ්‍යාපනය ලැබිය යුතු අතර ඉහළ පන්තිවල දරුවන් පාසලට යොමු කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අක්කරෙයිපත්තු මුස්ලිම් ජාතික පාසලේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් නොවැම්බර් 15 වැනි දින අක්කරෙයිපත්තු මුස්ලිම් ජාතික පාසලේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී සමස්ත ලංකා තරග ජයගත් දූදරුවන් වෙනුවෙන් සහතික සහ පදක්කම් පැළඳවීම සිදු කෙරුණු අතර, අග්‍රාමාත්‍යතුමිය විදුහලේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය නිරීක්ෂණය කිරීමටද එක් වූවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.
දරුවෙකුගේ මූලික අයිතිය කියන්නේ පාසලකට ඇතුළත් වීම, වෘත්තීය පුහුණු අවස්ථාවක් ලැබීම හරි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබීම විතරක්ම නෙවෙයි. මේ රටේ සියලුම දරුවන්ට අයිතියක් තියෙනවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගන්න. රටේ සියලුම දරුවන්ට තමන්ගේ සිහින ළඟා කරගන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් ලබා දෙන එක රජයේ වගකීමක් කියලා අපි දැඩිව විශ්වාස කරනවා.
ඒ නිසා තමයි අපි මේ 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී අධ්‍යාපනයට රුපියල් බිලියන 749ක් වෙන් කළේ. ඒක අපේ ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරපු වැඩිම මුදල් ප්‍රමාණයයි. ඒ වෙන් කරපු මුදලින් බිලියන 562.4ක්ම අපි වෙන් කරලා තියෙන්නේ පාසල් අධ්‍යාපනයටයි.
ඔබ සියලු දෙනාම දන්නවා ඇති, අපි මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. 2026 වසරේදී පළමුවෙනි වසරට අලුත් විෂය මාලාව හඳුන්වා දීලා, 2027 වසර වෙද්දී දෙවන වසරට සහ හයවන වසරටත් ඒ අලුත් විෂය මාලාව අපි හඳුන්වා දෙනවා. ඒ වගේම, දරුවන්ට අලුත් විෂයන් ඉගෙන ගන්න, තාක්ෂණය ළඟා කරගන්න, වගේම වෘත්තීය පුහුණු අධ්‍යාපනය පාසල තුළදීම ලබාගන්න පුළුවන් වටපිටාවක් අපි දැන් නිර්මාණය කරමින් යනවා.
විශේෂයෙන්ම අපි දන්නවා, තාක්ෂණය නිසා අද ලෝකය හරිම වේගයෙන් වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන ලෝකයට අපේ හැම දරුවෙක්ම සූදානම් වෙලා ඉන්න ඕනේ. වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ මාධ්‍යවේදියෙක් වුණත්, මොන වගේ රැකියාවකට ගියත් මේ හැම ක්ෂේත්රයකටම තාක්ෂණයේ බලපෑම විශාල වශයෙන් බලපානවා. එහෙමනම්, තාක්ෂණය හරියට පාවිච්චි කරන එක, තාක්ෂණයෙන් ඉගෙන ගන්න එක වගේම, එය ආරක්ෂිතව පාවිච්චි කරන්න දැනුම ලබා ගන්න එක අපි ජීවන කුසලතාවක් විදිහටයි දකින්නේ.
මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපි බලාපොරොත්තු වෙන්නේ දැනුම දෙන එක විතරක් නෙවෙයි; විභාග පාස් වෙන එක විතරක්ම නෙවෙයි. මම දන්නවා ඔබ සියලු දෙනාම විභාග පාස් වෙන්න ගොඩක් දක්ෂයි. නමුත්, විභාග පාස් වෙලා විතරක් මදි. අද ලෝකයට මුහුණ දෙන්න නම් විභාග පාස් වෙන්නත් ඕනේ, ඒ වගේම හොඳ ජීවන කුසලතාත් හදාගන්න ඕනේ. සමාජයත් එක්ක ජීවත් වෙන්න, සමාජයට නායකත්වය දෙන්න, කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරන්න මේ හැම දෙයක්ම දරුවන් ඉගෙන ගන්න ඕනේ.
ඒ වගේම තමයි, හොඳ ආකල්ප, දියුණු ආකල්ප දරුවන්ට තියෙන්න ඕනේ. මේ හැම දෙයක්ම සාර්ථක නම් අපිට ජීවිතයට සාර්ථක විදිහට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ සියලු දේ ලබා දෙන අධ්‍යාපනයක් ඔබ වෙත ගේන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් අපි විශාල වෑයමක් වගේම විශාල ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් කරලා තියෙනවා.
විශේෂයෙන්ම අපි දකිනවා, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට එනකොට දරුවන් පාසල් එන එක නතර කරනවා. හැබැයි, මතක තියාගන්න, සියලුම දරුවන් පාසලට පැමිණීම අනිවාර්යයි. දරුවෙක් වසර 13ක් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒ නිසා, දෙමාපියන් වන ඔබලාටත් මම විශේෂයෙන් යෝජනා කරනවා, ඔබේ දරුවාව අනිවාර්යයෙන්ම පාසලට එවන්න කටයුතු කරන්න කියලා.
අපි හැමෝම එකතු වෙමු, අපේ සියලුම දරුවන්ට සමාන, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න එකඟව කටයුතු කරමු. යැයි පැවසුවාය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, අබුබකර් ආදම්බාවා, නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්, අධ්‍යාපන බලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විදුහල්පති අල් නසීෆා මහත්මිය ඇතුළු ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසු දරුදැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
